ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තයේ දියුණුවට ඉන්දියාවේ සහාය ලබා ගැනීමට සාකච්ඡා

    July, 27, 2022

    පසුගිය සතියේ දී ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් මිලින්ද මොරගොඩ මහතා ප්‍රමුඛ නිල දූත පිරිසක්, අමූල් ලෙස ප්‍රකට සීමාසහිත ගුජරාට් සමුපකාර කිරි අලෙවි සම්මේලනයේ (GCMMF) සංචාරයක නිරත වූ අවස්ථාවේ දී, ඉන්දියාවේ සහය සහිතව ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදන කර්මාන්තය දියුණු කිරීම සඳහා පවතින ක්‍රම සහ විධි පිළිබඳව සාකච්ඡා පැවැත්වී ය.

    මහ කොමසාරිස් මොරගොඩ මහතා 22 වැනි දින, ආනන්ද් හි පිහිටි සම්මේලන මූලස්ථානයේ දී අමූල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය ආර්. සෝධි මහතා හමුවී මෙම සාකච්ඡා පැවැත්වීය. මොරගොඩ මහතා ඉන්දියාව තුළ සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් පසුව ගුජරාටය තුළ සිදු කළ ප්‍රථම නිල සංචාරය අතරතුර මෙම සාකච්ඡාව පවත්වන ලදි. රාජ්‍ය නිලධාරීන් සහ ශක්‍යතා සහිත ආයෝජකයන් හමුවීමේ අරමුණින් මහ කොමසාරිස් මොරගොඩ මහතා ගුජරාට් ප්‍රාන්තයේ දෙදින නිල සංචාරයක නිරත විය.

    අමූල් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා ප්‍රමුඛ දූත පිරිස සමඟ පැවැත්වූ සාකච්ඡාවේ දී, කිරි නිෂ්පාදන අංශය ආශ්‍රිතව ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවත්නා සහයෝගීතාව කෙරෙහි අවධානය යොමු වූ අතර, දැනට පවතින ඉන්දීය ණය පහසුකම හරහා අමූල් හි කිරි නිෂ්පාදන මෙරටට ආනයනය කිරීම සහ කිරිවලින් ස්වයංපෝෂිත රටක් බිහි කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ අමුල් ආකෘතිය ප්‍රචලිත කිරීම පිළිබඳ විශේෂ අවධානයක් මෙහිදී යොමු කෙරිණි. අමූල් සමාගමේ තාක්ෂණික සහය ද සහිතව මී ගව පාලනය කිරි ලබාගැනීමේ ප්‍රභවයක් ලෙස ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ හැකියාව පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරිණි. ඉන්දියාවේ සමස්ත කිරි නිෂ්පාදනයෙන් 45% ක් මී කිරි වන අතර, අමූල් හි සමස්ත කිරි නිෂ්පාදනයෙන් 55% ක් සකස් වන්නේ මී කිරිවලිනි.

    මෙම සාකච්ඡාවෙන් අනතුරුව මහ කොමසාරිස්වරයා ඇතුළු දූත පිරිස කිරි ඇසුරුම් කිරීම සහ අනෙකුත් කිරි ආහාර නිෂ්පාදනය කෙරෙන ආනන්ද් හි පිහිටි කයිරා කිරි සංගමයේ කිරි නිෂ්පාදනාගාරය වෙත පැමිණිය හ.

    කුඩා නගරවල වෙළෙන්දන් සහ නියෝජිතයන් විසින් ආන්තික කිරි නිෂ්පාදකයන් සූරාකෑම තවතාළීම සඳහා ප්‍රතිචාර දැක්වීමක් වශයෙන් ආරම්භ කළ සමුපකාර සමිතියක් ලෙස 1946 වර්ෂයේ දී පිහිටුවන ලද අමූල් ආයතනය සතුව යටත් විජිත සමයේ දී ප්‍රචලිත වූ විරෝධී හැඟීම් සහ ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය සමඟ සමීප සබඳතා පවතී. වර්තමානය වන විට, ගුජරාටයේ ගම් 18, 565 ක කිරි නිෂ්පාදකයන් මිලියන 3.6 ක පිරිසක් විසින් අමූල් ආයතනය මෙහෙයවනු ලැබේ. මෙම ග්‍රාමීය සමුපකාර කිරි සංගම් දහතුනකින් සමන්විත වන අතර, GCMMF ආයතනය එම කිරි සංගම්වල ප්‍රධාන ආයතනය ලෙස ක්‍රියා කරමින් එම සමූපකාර කළමනාකරණය කරයි. මෙම සම්මේලනය ඉන්දියාවේ පිහිටි විශාලතම ආහාර නිෂ්පාදන අලෙවිකරණ සංවිධානය යි.

    අමූල් ආයතනය ඉන්දියාවේ ක්‍රියාත්මක වූ 'ධවල විප්ලවය' හෙවත් කිරිවලින් ස්වයංපෝෂිත භාවය ළඟා කරගැනීම පිළිබඳ ක්‍රියාවලිය ඇරඹූ හෙයින්, කිරි හිඟ රටක් වූ ඉන්දියාව ලොව විශාලතම කිරි නිෂ්පාදකයා බවට පරිවර්තනය කිරීම සඳහා එමඟින් අවස්ථාව උදාවිය. එය 1998 වර්ෂයේ දී ඇමරිකා එක්සත් ජනපදය ද අභිබවා යමින් සාර්ථක ප්‍රතිඵල ලැබී ය. මෙම අමූල් ආකෘතිය ඉන්දියාව පුරා ව්‍යාප්ත කිරීම හරහා ඉහත කර්තව්‍ය සිදු කරන ලදි. නිදහස් සටන්කාමියෙකු සහ ඉන්දියාව එක්සත් කිරීම සඳහා දායක වූ සර්දාර් වල්ලභායි පටෙල් මහතාගේ මගපෙන්වීම යටතේ, ත්‍රිභුවන්දස් කිෂිබායි පටෙල් මහතා මෙම සංවිධානයේ ආරම්භක සභාපති බවට පත්විය. 70 දශකයේ දී විශ්‍රාම දිවියට පිවිසි එතුමා එතෙක් මෙම සංවිධානය සඳහා නායකත්වය ලබා දුන්නේ ය. අමූල් හි දැවැන්ත සාර්ථකත්වය පිටුපස සිටින පුද්ගලයා ලෙස සැලකෙන ආචාර්ය වර්ගීස් කුරියන් මහතා 1949 වර්ෂයේ දී සාමාන්‍යාධිකාරීවරයකු වශයෙන් එම සංවිධානයට සම්බන්ධ වූ අතර පසුව 1973 වර්ෂයේ දී GCMMF හි ආරම්භක සභාපති බවට පත්විය. එතුමා 2006 වර්ෂය තෙක් එම ධුරයේ සේවය කළේ ය.

    මහ කොමසාරිස් මොරගොඩ මහතා අමූල් මූලස්ථානය සිදු කළ සංචාරය අතරතුර සර්දාර් වල්ලභායි පටෙල්, ත්‍රිභුවන්දාස් කිෂිභායි පටෙල් සහ ආචාර්ය වර්ගීස් කුරියන් යන අයගේ ප්‍රතිමාවලට පුෂ්පෝපහාර දැක්වී ය.