එන්ට්‍රස්ට් ආණ්ඩුවට පවරා ගනී

    January, 4, 2016

    මෙරට රජයේ සුරැකුම්පත් ප්‍රාථමික නිකුතු ආයතනයක් වන එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී (ENTRUST SECURITIES PLC) වෙත දැනුම් දුන් පරිදි සිය ප්‍රතිව්‍යූහගත සැලසුම් අද සවස 6.00 වන විට ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ඉදිරිපත් නොකළේ නම්, එහි කළමනාකාරීත්වය රාජ්‍ය බැංකුවක් යටතට පවරා ගන්නා බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ අද පැවති මාධ්‍ය හමුවකදීය.

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි කටයුතු සම්බන්ධයෙන් පාර්ශව කිහිපයකගෙන්ම මේ වන විට පැමිණිලි ලැබී තිබෙන බැව් පැවසූ මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේ පසුගිය 2015 නොවැම්බර් 11 වන දින සමාගමේ කටයුතු යථා තත්ත්වයට පත්කරලීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් දැනුම් දෙන ලදී. ඊට අනුව අද (2016 ජනවාරි 04) පස්වරු 6.00 ට පෙර මෙම සැලසුම් මහ බැංකුව වෙත ඉදිරිපත් කළ යුතුවේ. එහෙත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියේ මේ වන විටත් එවැනි කිසිදු දැනුවත් කිරීමක් සමාගම විසින් ශ්‍රී ලංකා මහ බැංකුව වෙත සිදු කර නැති බවයි.

    කෙසේ වෙතත් මෙහිදී අදහස් දක්වමින් නියෝජ්‍ය මහ බැංකු අධිපති පී. සමන්සිරි මහතා කියා සිටියේ මෙම පවරා ගැනීම තුළින් සමාගමේ ව්‍යාපාර කටයුතු අඩාල වීමක් සිදුනොවන බවය. “සමහර විට මෙම පවරා ගැනීම නිසා සමාගමේ කොටස් මිල හෙට දිනයේ දී වැඩිවෙන්නත් පුළුවන්. රාජ්‍ය බැංකුවක් විසින් පවරා ගැනීමේ දී ආයෝජකයින්ට ඒ පිළිබඳ තිබෙන විශ්වාසය ඉහළ නැංවෙනවා“ , යැයි ඔහු වැඩිදුරටත් පැවසීය.

    එන්ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී හි සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවන් කිහිපයක් සම්බන්ධයෙන්ම මේ වන විට පරීක්ෂණ පැවැත්වෙන බව මෙහිදී සඳහන් විය. මේ සම්බන්ධයෙන් පොලීසියට හා CID වෙත දැනටමත් පැමිණිලි කර තිබෙන බැව් නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා කියා සිටියේය.

    රජය විසින් භාණ්ඩාගාර බිල්පත් හා භාණ්ඩාගාර බැඳුම්කර වැනි රජයේ සුරැකුම්පත් නිකුත් කරමින් ණය ලබා ගනුයේ මෙම ප්‍රාථමික නිකුතු ආයතන හරහා ය. එබැවින් මෙම ආයතනවල සිදුවන අයථා මූල්‍ය කටයුතු වැළැක්වීම සම්බන්ධයෙන් මහ බැංකුව පියවර ගනු ලැබේ.

    කෙසේ වෙතත් ප්‍රාථමික නිකුතු ආයතනයක්, මෙලෙස රජයේ භාරයට පවරා ගනු ලැබීමට කටයුතු කරනුයේ මෙරට ඉතිහාසයේ පළමු වතාවටය.

    ආරම්භයේ දී සෙලින්කෝ ශ්‍රීරාම් නමින් ක්‍රියාත්මක වූ මෙම සමාගම පසුව එන්ට්‍රස්ට් සිකියුරිටීස් නමින් සිය ව්‍යාපාර පවත්වා ගෙන යනු ලැබීය.