ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අනිද්දා කොළඹ දී

    January, 5, 2016

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘ශ්‍රී ලංකා ආර්ථික සමුළුව 2016‘ ජනවාරි 07 සහ 08 දෙදින තුළ කොළඹ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. වසර 2023 දී ශ්‍රී ලංකාවේ ආර්ථික සෞභාග්‍ය ලඟා ගැනීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සැලසුම් මෙම සමුළුවේදී එළිදැක්වීමට නියමිතය.

    මේ සඳහා ජාත්‍යන්තර ආයෝජකයෙකු හා Open Society හි නිර්මාතෘ හා සභාපති ජෝර්ජ් සෝරෝස්, ආර්ථික විද්‍යාව සඳහා නොබෙල් සම්මානයෙන් පිදුම් ලැබූ මහාචාර්ය ජෝසෆ් ස්ටිග්ලිට්ස් සහ හාවඩ් සරසවියේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ රිකාඩෝ හවුස්මන් යන මහත්වරුන් එක්වීමට නියමිත බව එහි සංවිධායකයින් විසින් සමුළුවේ නිල වෙබ් අඩවිය වන www.srilankaeconomicforum.org/ ඔස්සේ තහවුරු කර තිබේ.

    හාවඩ් සරසවියේ ජාත්‍යන්තර සංවර්ධන කේන්ද්‍රය විසින් සිදුකර ඇති අධ්‍යයනයක දී, ශ්‍රී ලංකාවේ දිගුකාලීන සංවර්ධනය සඳහා ප්‍රධාන අංශ 4 ක් හඳුනාගෙන තිබේ. සාර්වආර්ථික හා ෆිස්කල් ස්ථායිතාව, ව්‍යුහාත්මක පරිවර්තන හා තරඟකාරීත්වයන්, නාගරීකරණය හා සංවර්ධනය, කලාපීය සංවර්ධනය හා සමාජ අන්තර්ගතයන් එකී ප්‍රධාන අංශ 4 වේ.

    මෙම ආර්ථික සමුළුව මෙකී අංශ තේමා කරගනිමින් සංවිධානය වී තිබෙන අතර ජාත්‍යන්තර වශයෙන් කීර්කියට පත් සුවිශේෂී පුද්ගලයින් රැසක් ශ්‍රී ලංකාව පිළිබඳ සිය දැක්ම බෙදාහදා ගැනීමට මේ සඳහා එක්වනු ඇත.