රාජ්‍ය අංශයේ මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව වැඩසටහන සඳහා ජපන් රජයේ ආධාර

    August, 9, 2022

    රාජ්‍ය අංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්හට ජපානයේ පිළිගත් විශ්වවිද්‍යාලයන් හිදී පශ්චාත් උපාධි පාඨමාලාවන් හැදැරීමේ අවස්ථාව ලබා දීම සඳහා 2010 වසරේදී ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව සඳහා වන ජපාන ආධාර වැඩසටහන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙන ලදි.

    ඒ අනුව, මෙම වැඩසටහනෙහි පළමු කාර්යරාමුව (2010-2013), දෙවන කාර්යරාමුව (2014-2017) සහ තුන්වන කාර්යරාමුව (2018-2021) පිළිවෙළීන් 2013, 2017 හා 2021 වසරවලදී සාර්ථකව අවසන් කරන ලදි. හතර වන කාර්යරාමුව (2022-2025), 2022 වසරේදී ආරම්භ කරන ලද අතර 2025 වසරේදී අවසන් කිරීමට නියමිතයි. තව ද, මෙම වැඩසටහන යටතේ අධ්‍යන කටයුතු අවසන් කරන ලද ශිෂ්‍යත්වලාභීන්ගේ වෘත්තීමය සංවර්ධනය තවදුරටත් සිඳු කිරීමේ අවශ්‍යතාවය සලකා බැලීමෙන්  අනතුරුව ආචාර්ය උපාධී පාඨමාලාවන් හැදෑරීම සඳහා උපරිම වශයෙන් වාර්ෂීකව අවස්ථා දෙකක් පිරිනැමීමට ද ජපාන රජය එකඟත්වය පළකර ඇත. ඒ අනුව, මෙම වැඩසටහන යටතේ මේ දක්වා පශ්චාත් උපාධී පාඨමාලවන් හැදෑරීම සඳහා අවස්ථා 195 (වසරකට 15 බැගින්) ක් හා ආචාර්ය උපාධි පාඨමාලාවන් හැදෑරීම සඳහා අවස්ථා 10ක් ලබා දී ඇත.

    හතරවන කාර්යරාමුවේ පළමු වන කණ්ඩායමෙහි තෝරා ගැනීමේ ක්‍රියාවලිය මේ වන විටත් අවසන් වී ඇති අතර තෝරා ගත් නිලධාරීන් 2022 සැප්තැම්බර් මස දී ඔවුන්ගේ අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. ජපාන රජය, 2010 වසරේ සිට JDC වැඩසටහනේ වියදම් සඳහා අවශ්‍ය ප්‍රධාන අරමුදල් වාර්ෂිකව සපයනු ලබන අතර ඒ අනුව, 2022 දී ජපානයෙන් මිලියන 282 ක ආධාර (වර්තමාන විනිමය අනුපාතයට අනුව ආසන්න වශයෙන් රුපියල් මිලියන 761) ශ්‍රී ලංකාවට පිරිනැමීමට ද යෝජනා කර ඇත.

    මෙම වැඩසටහන යටතේ ප්‍රතිලාභ ලබා ගන්නා රාජ්‍ය නිලධාරීන් මෙරට සමාජ හා ආර්ථික සංවර්ධනය සඳහා  වඩාත් ඵලදායී ලෙස හා ආත්ම විශ්වාසයෙන් යුතුව සිය දායකත්වය ලබා දෙන අතර දැනට පවතින ද්වීපාර්ශික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීමටද මෙම වැඩසටහන මඟින් දායකත්වය ලබා දෙනු ඇතැයි ශ්‍රී ලංකා රජය අපේක්ෂා කරයි.

    මෙම වැඩසටහන ක්‍රියාවට නැංවීම උදෙසා දෙරට අතර හුවමාරු පත්‍ර අත්සන් කිරීම හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයාතනය සමඟ මුදල් ප්‍රදාන ගිවිසුුමකට එළඹීම 2022.08.08 දින මුදල් අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ ලේඛම් කේ එම් එම් සිරිවර්ධන මහතාද ජපාන රජය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි මහතා හා ජපාන ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය වෙනුවෙන් එහි ප්‍රධාන නියෝජිත යමදා ටෙට්සුයා මහතා විසින් අදාළ ලියකියවිලිවලට අත්සන් තබන ලදි.