ශ්‍රී ලංකා රේගුවේ කටයුතු තව දුරටත් විධිමත් කරමින් ලොව දියුණු රටවල් රැසක ක්‍රියාත්මක Single Window වැඩසටහන ඇරැඹේ

    January, 6, 2016

    ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්‍රියාවලිය පහසු කරලීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමට අදාළව ජාත්‍යන්තර වශයෙන් ක්‍රියාත්මක Single Window වැඩසටහනට ශ්‍රී ලංකාවට සම්බන්ධ කෙරේ. ලෝක වෙළෙඳ සංවිධානය සහ ලෝක රේගු සංවිධානය යටතේ පවතින ජාත්‍යන්තර රෙගුලාසිවලට අනුව රේගු කටයුතු වඩාත් පහසු කරලීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ අදහසකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මේ සඳහා නවීන තාක්ෂණය යොදා ගන්නා අතර පරිගණක ජාල මගින් අදාළ කටයුතු සම්බන්ධීකරණය කෙරේ.

    ශ්‍රී ලංකාවේ ආනයන අපනයන ක්ෂේත්‍රයට සම්බන්ධ වී සිටින රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සියලු ආයතන මෙම නවීන තාක්ෂණය යටතේ එකිනෙකට සම්බන්ධ කිරීම සිදුවේ. එහි දී භාණ්ඩ ආනයනයේ දී හෝ අපනයනයේ දී පවතින දුෂ්කරතා රැසක් මගහරවා ගත හැකි ය. විශේෂයෙන් අනවශ්‍ය කාලය වැය කිරීමකින් තොරව අදාළ කටයුතු සිදු කර ගත හැකි ය. මෙමගින් දූෂණ හා අක්‍රමිකතාවලින් තොරව ආනයන අපනයන කටයුතු පහසුවෙන් සිදු කර ගත හැකි වේ.

    ලෝකයේ බොහෝ සංවර්ධිත රටවල Single Window වැඩසටහන ක්‍රියාත්මකය. අමෙරිකාව, බ්‍රිතාන්‍ය, ජපානය, කැනඩාව, සිංගප්පූරුව සහ කොරියාව වැනි රටවල විවිධ ස්ථර යටතේ Single Window වැඩසටහන ක්‍රියාත්මක වේ.

    ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටකට මෙවැනි නවීන තාක්ෂණික වැඩපිළිවෙළක් හඳුන්වාදීම කාලීන අවශ්‍යතාවකි. මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා ඊට අදාළ කටයුතු කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රී ලංකා රේගුවට උපදෙස් දෙනු ලැබීය. එහි ප්‍රතිඵලයක් ලෙස Single Window වැඩසටහන අද සිට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වේ.

    එහි සමාරම්භක උත්සවය පසුගිය දා පෙරවරුවේ, මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා රේගු මූලස්ථානයේ දී පැවැත්විණි. මෙහිදී රවී කරුණානායක මැතිතුමා අතින් රේගු කටයුතුවලට අදාළ ආයතන ජාලගත කිරීම සිදු කරනු ලැබීය.

    එහි දී අදහස් දැක්වූ මුදල් අමාත්‍යවරයා සඳහන් කළේ ශ්‍රී ලංකාව නවීන ලෝකය සමග එක්ව ගමන් කරවීම සඳහා මෙම පියවර ගත් බවයි.

    වැඩි දුරටත් අදහස් දැක් වූ මුදල් අමාත්‍යවරයා -

    “2015 වසරේ දී ශ්‍රී ලංකා රේගුව අපට එකතු කර දීපු බදු ආදායම රුපියල් බිලියන 714යි. මෙම වසරේ දී අපේ ඉලක්කය එය රුපියල් බිලියන 953 දක්වා ඉහළ නංවා ගැනීමටයි. මේ වසරේ අපේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 2004ක්. ඉන් 50%ක් පමණ අපි අපේක්ෂා කරන්නෙ රේගුවෙන්. ඉතිරිය දේශීය ආදායම් සහ සුරා බදු දෙපාර්තමේන්තුවලින් තමයි බලාපොරොත්තු වෙන්නෙ.

    මේ යහපාලන ආණ්ඩුව මානුෂවාදී එකක්. ඒ වගේ ම විවෘත ආණ්ඩුවක්. අපේ රේගුව සතුව ඉතා දක්ෂ නිලධාරීන් බහුතරයක් ඉන්නවා. ඔවුන්ගේ ප්‍රායෝගික දැනුම රටක් වශයෙන් අපට ඉතා වටිනවා. ඒ නිසා අපට අවශ්‍ය වන්නේ ඔබට මග පෙන්වීම විතරයි.

    2016 සඳහා අපි විප්ලවීය අයවැයක් ඉදිරිපත් කළා. අයවැය අතරතුර වගේ ම එතැනින් එහාට ගිය සාකච්ඡා වට රැසක් පැවැත්වුණා. දැන් අපට තියෙන්නෙ එය ක්‍රියාවට නැංවීමයි. අපි ජාතියක් ලෙස නිදහස ලබාගෙන දැන් බොහෝ කල්. නමුත් සැබෑ ආර්ථික නිදහස තවමත් ජනතාව වෙත ගිහින් නෑ.

    ඉතින් අපට අවශ්‍ය වන්නේ මේ සියලු ජනතාවට ආර්ථික නිදහස ලබා දෙන්න. ඒ සඳහා කැපවීමෙන් වැඩ කරන පිරිසක් මුදල් අමාත්‍යාංශයේ ඉන්නවා. ඔවුන් සමග එක්ව භාණ්ඩාගරයේ අභිමානය යළි රැගෙන ඒම තමයි අපේක්ෂාව”යැයි ද අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට මුදල් අමත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල් චූලානන්ද පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.