කොටස් වෙළෙඳපොළ මන්දගාමී වෙයි. අද රු. බිලියන 5කට ආසන්න පිරිවැටුමක්

    August, 23, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල පහළ යාමක් අද (23) දිනයේ දී වාර්තා විය.

    එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 16.06 කින් පහළ ගොස් ඒකක 9,071.53 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 17.92 කින් පහළ ගොස් ඒකක 2,989.78 ක් ලෙසත් දිනය අවසානයේ දී වාර්තා වී තිබුණි.

    රු. බිලියන 4.93 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා වූ අතර ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සමාගමේ ගිවිසා ගනු ලැබූ කොටස් ගනුදෙනුවක් (crossing) ඒ සඳහා ප්‍රධාන වශයෙන් දායක වී තිබුණු බව නිරීක්ෂණය කළ හැකිය. මෙහිදී ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 9.68 ක්, එකක් රු. 125.00 බැගින් හුවමාරු වී තිබුණු අතර රු. බිලියන 1.21 ක පිරිවැටුමක් එමඟින් වාර්තා වී තිබේ.

    මීට අමතරව දිනයේ සාමාන්‍ය ගනුදෙනු හරහා එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් රු. මිලියන 381.55 ක්, ලංකා IOC රු. මිලියන 367.32 ක්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් රු. මිලියන 324.04 ක් හා කොටගල වැවිලි සමාගම රු. මිලියන 209.90 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදුන් සෙසු සමාගම් විය.

    LOLC හොල්ඩිංග්ස්, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් සහ ශ්‍රී ලංකා ටෙලිකොම් ඇතුළු සමාගම් 108 ක කොටස් මිල ගණන් අද දිනයේ දී පහළ යාම සියලු කොටස් මිල දර්ශකයේ පහළ යාමට හේතු වී තිබිණ.