රජය, ඉදිකරන්නන්ට බිලියන 150 ක පොලු තියලා

    August, 26, 2022

    පසුගිය දා භාණ්ඩ කිහිපයක් ආනයනය කිරීම තහනම් කරමින් රජය නිකුත් කළ ගැසට් නිවේදනය මඟින් ඉදිකිරීම් ක්‍ෂේත්‍රය අවදානම් තත්ත්වයකට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය පවසයි.

    ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ හිටපු සභාපති, එම්. ඩී පෝල් මහතා පවසන්නේ පසුගිය මාස 8ක් 10ක් වැනි කාල සීමාව තුළ රුපියල් බිලියන 150ක පමණ මුදලක් රජය විසින් ඉදිකිරීම් ක්ෂේත්‍රයට ගෙවීමට අපොහොසත් වී ඇති බවයි.

    "පසුගිය රජය කාලේ විශාල ව්‍යාපෘති සංඛ්‍යාවක් අප රට තුළ ඉදිකීරීම් ක්ෂේත්‍රයේ ආරම්භ කරත් මුදල් ගෙවා ගැනීමේ නොහැකියාව, ආර්ථිකයේ කඩා වැටීම හේතු කර ගෙන මුදල් ගෙවා ගැනීමට නොහැකි වීමේ තත්ත්වය මත සමස්ත ඉදි කිරීම් ක්ෂේත්‍රයේ ඉදිකීරීම්කරුවන් අද දැවැන්ත මූල්‍ය අර්බුදයකට පත් වෙලා තියනවා. ඒ මූල්‍ය අර්බුදයට ප්‍රධානම හේතුව බවට පත්වෙලා තියෙන්නේ පසුගිය මාස 8, 10 කාලය තුළ බිලියන 150ක පමණ මුදලක් අද ඉදිකිරීම් ක්ෂේත්‍රයට රජය ගෙවන්න අපොහොසත් වීම හේතු කර ගෙන. රජයට මුදල් නැත්තන් රජය දැනගන්න ඕන මේ ඉදිකිරීම් කර්මාන්තයත් එක්ක කතා කරලා මේකට විසඳුමක් ලබා දෙන ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතුයි කියලා අපි යෝජනා කරනවා." 

    මේ අතර මේ වනවිට ඉදිකිරීමක් සිදුකිරීම යනු සිහිනයක් බව ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනආරච්චි මහතා පවසයි.

    "අපිට ඉදිකිරීම් ක්ෂේත්‍රයට අදාල ඇලුමිනියම්, ටයිල්, වතුර පොම්ප, වැහි පීලී, ජල නල අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක තහනම් පනවලා තියනවා. ඒක ආනයනය තහනම් කිරීමක් කරලා තියනවා. ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රාජ්‍ය ඉදිකිරීම් ගත්තොත් අපි 70%ක් දැනට මේ වෙන කොට අපි සංඛ්‍යාත්මකව නතර කරලා තියෙන්නේ. මේ උද්ධමනයත් එක්ක කොහොම ද, ඉදිකිරීමක් කරන්නේ. මේ උද්ධමනය වැඩි වෙන්න වැඩි වෙන්න භාණ්ඩ මිල වැඩි වෙනවා. භාණ්ඩ මිල වැඩි කරන කොට ඔයගොල්ලෝ සැලසුම් කරලා තියන මුදලට වඩා ඉහල මුදලකින් තමයි ඉදිකිරීම කරන්න වෙන්නේ. ඒ නිසා ඉදිකිරීමක් කරනවා කියන එක දැන්නම් සිහිනයක්."