තේ වෙන්දේසියේ දී නව වාර්තා දෙකක්

    August, 26, 2022

    2022 අගෝස්තු මස 23 වෙනි දින කොළඹ තේ වෙන්දේසියේදි, ඒෂියා සියක කොමොඩිටීස් පී එල් සී සමාගම (Asia Siyaka Commodities PLC.) නව වාර්තා දෙකක් තබා තිබේ.

    මෙයට ප‍්‍රථම කොළඹ තේ වෙන්දේසියේ දී රු. 2,350.00 ලෙස වාර්තාගත උපරිම මිලක පැවති ඌව මැද රට "බී ඕ පී එෆ් ” (BOPF ) තේ වර්ගය සඳහා නව අලෙවි වාර්තාවක් පිහිටවනු ලැබිණි.

    2022 අගෝස්තු මස 22 දින පැවති තේ වෙන්දෙසියේදී ඌව පලාතේ බදුල්ල දිස්ත‍්‍රික්කයේ හාලිඇල ප‍්‍රදේශයේ පිහිටා ඇති මල්වත්තවැලි වැවිලි සමාගම මගින් පාලනය කරනු ලබන දික්වැල්ල (Dickwella) තේ කර්මාන්තශාලාව මගින් නිපදවා සෙන්ට් ජේම්ස් (St. James) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ "බී ඕ පී එෆ් ” (BOPF ) තේ වර්ගය රු. 2,700.00 ක මිලක් ලබා ගනිමින් නව වාර්තාවක් පිහිටුවිය. මෙම තේ තොගය ප‍්‍රකට තේ ගැණුම්කරුවකු වන ටී ලින්ක් කළම්බු පුද්ගලික සමාගම (Tea Link Colombo (Pvt) Ltd) විසින් මිලදී ගන්නා ලදී.

    දේශබන්දු අරුණ ද සිල්වා මහතාට අයත් ගාල්ල දිස්ත‍්‍රික්කයේ හොරන්ගල්ල ප‍්‍රදේශයේ පිහිටි එවර්ග‍්‍රීන් තේ කර්මාන්තශාලාව මගින් නිපදවා ගෝල්ඩන් ගාර්ඞ්න් (Golden Garden) වෙළඳ නාමය යටතේ ඉදිරිපත් කර තිබූ "බී ඕ පී එෆ් ස්පෙෂල්” (BOPFSP ) වර්ගයේ තේ කිලෝවක් ප‍්‍රකට තේ් ගැණුම්කරුවකු වන එල් ඕ එල් සී හෝල්ඩිංග්ස් පී එල් සී (LOLC Holdings PLC.) ට රු: 2,850.00 අලෙවි කරමින් තවත් නව වාර්තාවක් තැබීය. මෙයට ප‍්‍රථම පහත රට  "බී ඕ පී එෆ් ස්පෙෂල්” (BOPFSP ) වර්ගයේ තේ කිලෝවක් සඳහා පැවති උපරිම මිල රු. 2,800.00 කි. මෙම තේ කර්මාන්තශාලවේ කළමනාකාර අධ්‍යක්‍ෂක ලෙස ආචාර්ය ඉන්දික නල්ලපෙරුම මහතා කටයුතු කරන අතර, සෙනාල් ද සිල්වා මහතාද එහි අධ්‍යක්‍ෂකවරයකු ලෙස කටයුතු කරයි.