අයවැය අභිමුව අඛණ්ඩව පස්වෙනි දිනයටත් කොටස් වෙළෙඳපොළ පසු බසී

    August, 29, 2022

    කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අඛණ්ඩව පස්වෙනි දිනයටත් අද (29) දිනයේ දී පහළ යන ලදී. අද දින ඒකක 60.92 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගිය අතර දිනය අවසානයේ දී එය ඒකක 8,732.47 ක් ලෙසින් වාර්තා වුණි. S&P SL20 දර්ශකය ඒකක 33.07 කින් පහළ ගොස් ඒකක 2,830.67 ක් ලෙසින් දැක්වුණි.

    රු. බිලියන 1.24 ක ගනුදෙනු පිරිවැටුමක් අද දින වාර්තා විය.

    එහිදී දේශීය මිල දී ගැනීම් රු. බිලියන 1.13 ක් හා දේශීය විකිණුම් රු. බිලියන 1.19 ක් ලෙසින් සටහන් වූ අතර විදේශීය මිල දී ගැනීම් රු. මිලියන 115.44 ක් හා විදේශීය විකිණුම් රු. මිලියන 56.27 ක් ලෙසින් සටහන් විය.

    අද දින දෛනික පිරිවැටුමට වැඩිම දායකත්වය එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමේ කොටස් ගනුදෙනු හරහා ලැබී තිබුණු අතර එය රු. මිලියන 244.55 කි. මීට අමතරව ලංකා IOC  සමාගමේ කොටස් ගනුදෙනුවලින් රු. මිලියන 153.12 ක පිරිවැටුමක් වාර්තා වී තිබුණු අතර රුපියල් මිලියන 100 ට වැඩි පිරිවැටුම් වාර්තා කර තිබුණේ මෙම සමාගම් දෙක පමණි.

    රිචඩ් පීරිස්, මෙල්ස්ටාකෝප්, එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස්, LOLC හෝල්ඩිංග්ස් හා ලංකා IOC යන සමාගම්වල කොටස් මිල පහළ යාම් සියලු කොටස් මිල දර්ශකයේ කඩා වැටීමට විශාල වශයෙන් හේතුවුණි.

    මේ අතර වෙළෙඳපොළ විශ්ලේෂකයින් පවසන්නේ හෙට (30) දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත මෙම වසරේ සෙසු කාලය සඳහා වන අතුරු අයවැය හේතුකොට ගෙන ආයෝජකයින් යම් දුරකට විමසිලිමත් වී ඇති ආකාරයක් පෙන්නුම් කරන බවයි. හෙට දිනයෙන් පසුව කොටස් වෙළෙඳපොළ දිශානතිය කෙසේ විය යුතුද යන්න අයවැය යෝජනා මත බොහෝ සෙයින් රඳා පැවතිය හැකි බව විශ්ලේෂකයින්ගේ අදහසයි.