රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල කාක් කූඩුවේ හදපු කොහා පැටියෙක් වගේ – හර්ෂ

    August, 31, 2022

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්ථික වැඩපිළිවෙල පවතින දේශපාලන තත්ත්වය සමඟ ක්‍රියාත්මක කිරීමට අපහසු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

    අද (31) දින අයවැය විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

    මේක පූර්ණ අයවැයක් නෙවෙයි. මේ මගින් පෙන්වන්නේ ජනාධිපතිවරයාගේ ආර්ථික ප්‍රතිපත්ති දිශාව. මම හැමදාම කියනවා වගේ මම ඒ ආර්ථික ප්‍රතිපත්තියට එකඟයි. රනිල් වික්‍රමසිංහ මහතා මේ වගේ ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළේ ⁣මේ පාර විතරක් නෙවෙයි.

    ඔහු හැමදාම ඉදිරිපත් කළේ පුද්ගලික අංශයට මුල්තැන දෙන, ලෝකය සමග එකතුවුණු, තරගකාරීත්වය වැඩිකළ හැකි ආර්ථික ප්‍රතිපත්තියක්. හැබැයි, ඔහුට ඒක කරන්න කවදාවත් මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ ලිංමැඩි ආර්ථික කල්ලිය ඉඩ දුන්නෙ නෑ. ඉතිං, මේ සැරේ ඒක කරන්න ඉඩ දේවිද? මම නම් හිතන්නේ මේ පාරත් ඔවුන් ඒක කරන්න ඉඩ දෙන එකක් නෑ. කොහාට කූඩුවක් නෑ.

    කොහා කාක්කාගේ කූඩුවේ ගිහින් බිත්තර දානවා. පොඩිකාලේ කොහාගේ පැටව්ත් කාක් පැටව් වගේ. හැබැයි, ටික ටික ලොකු වෙනකොට කොහා⁣ පැටව් කාක්කට අඳුරගන්න පුලුවන්. එතකොට කාක්කා කොහා පැටව් එලවලා දානවා. රනිල් වික්‍රමසිංහගේ ආර්ථික ප්‍රතිපත්තියත් කාක් කූඩුවේ දාපු කොහා පැටව් වගේ. අපි කැමති වුණත් අකමැති වුණත් මේ තියන දේශපාලන තත්ත්වයත් එක්ක ක්‍රියාත්මක කරන්න අමාරුයි.