ආර්ථික අර්බුදය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්

    September, 8, 2022

    වත්මන් ආර්ථික අර්බුදයේ ස්වරූපය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට රජයේ මුදල් පිළිබද කාරක සභාවේ මූලිකත්වයෙන් වැඩසටහන් මාලාවක් සකස් කළ යුතු බව එම කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් විසින් යෝජනා කරන ලදී.

    මේ පිළිබඳව යෝජනා වූයේ රජයේ මුදල් පිළිබඳ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය (06) දා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.

    මෙහිදී පසුගිය ජූලි 27 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ “2022 - වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ  වාර්තාව” සම්බන්ධව මුදල් අමාත්‍යාංශයේ සහ මහා භාණ්ඩාගාරයේ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා ඇතුළු නිලධාරීන් විසින් ඉදිරිපත් කිරීමක් සහිතව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරයන් දැනුවත් කරන ලදී. මෙම දැනුවත් කිරීමේදී පැහැදිලි වූ විවිධ කරුණු හේතුවෙන් මෙසේ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට යෝජනා විය.

    මේ අනුව කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පෙන්වා දුන්නේ උද්ධමනය ඉහළ යාම සමග පොලී අනුපාතය ඉහළ යා හැකි බවයි. මේ නිසා පළමු වැඩසටහන ලෙස උද්ධමනය සහ පොලී අනුපාතය අතර ඇති සම්බන්ධය පිළිබඳ සියලු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් දැනුවත් කිරීමට තමා යෝජනා කරන බව හෙතෙම පැවසීය. එසේම පක්ෂ විපක්ෂ භේදයකින් තොරව සියලු මන්ත්‍රීවරුන් මේ සඳහා සම්බන්ධවී මේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දුන්නේ ය.

    තවද මෙහිදී 2019 වර්ෂයේ අග භාගයේදී බදු ප්‍රතිශත අඩු කිරීම නිසා රාජ්‍ය ආදායම අඩු වීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය. එසේම රාජ්‍ය ආදායම අඩු වීමට කොවිඩ් වසංගතයේ බලපෑම සිදු වූ ආකාරය පිළිබඳව ද  මෙහිදී සාකච්ඡා වුණු අතර 2022 වර්ෂය වන විට රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට ගෙන ඇති පියවර පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.

    මෙම කාරක සභාව සඳහා අමාත්‍ය විදුර වික්‍රමනායක, අනුර ප්‍රියදර්ශන යාපා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන දුමින්ද දිසානායක, වෛද්‍ය සීතා අරඹේපොළ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ආචාර්ය සුරේන් රාඝවන්, එම්. ඒ. සුමන්තිරන්,  හර්ෂණ රාජකරුණා, අනුප පැස්කුවල්, මයන්ත දිසානායක සහ මහාචාර්ය රංජිත් බණ්ඩාර යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.