• Ada Derana BIZ Sinhala
  • ASPI
  • cse
  • sri lanka

සියලු කොටස් දසදහසේ සීමාව අභිබවයි

September, 15, 2022

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (15) දිනයේ දී ඒකක දසදහසේ සීමාව අභිබවා යන ලදී.

ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,072.38 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට සාපේක්ෂව ඒකක 158.26 ක හෙවත් 1.60% ක ඉහළ යාමක් වේ.

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට 2021 ඔක්තෝබර් 25 දින සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,000 සීමාව ඉක්මවා ගිය අතර 2022 මාර්තු 29 දින යළිත් වරක් එය එම සීමාවෙන් මෙපිටට පැමිණියේය. එදිනෙන් පසු සියලු කොටස් මිල දර්ශකයේ වාර්තා වූ ඉහළම අගය මෙය වේ.

අද දින රු. බිලියන 5.33 ක ගනුදෙනු පිරිවැටුමක් වාර්තා විය.

එහිදී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් මිලියන 4 ක් එකක් රු. 230.00 බැගින්, ගිවිසා ගත් ගනුදෙනුවක් ලෙසින් හුවමාරු වූ අතර රු. මිලියන 920 ක පිරිවැටුමක් ඒ හරහා ජනනය වී තිබුණි.

මීට අමතරව අද දින සාමාන්‍ය ගනුදෙනු හරහා වැඩිම පිරිවැටුමක් වාර්තා වී තිබුණේ ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනු හරහා යි. එය රු. මිලියන 556.10 කි.  ලංකා IOC සමාගමේ කොටස් ගනුදෙනුවලින් දෛනික පිරිවැටුමට ලැබී තිබුණු දායකත්වය රු. මිලියන 401.77 කි.