• Ada Derana BIZ Sinhala
  • Parliament
  • Sanitary napkins
  • sri lanka
  • tax

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ කාණ්ඩයට. බද්ද 45% ක්. මිල වැඩිවෙන්න හේතුව ගැන පාර්ලිමේන්තුවේ දී කතාබහක්

September, 20, 2022

සනීපාරක්ෂක තුවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙහි ලා සැලකෙන බැවින් ඊට 42% ක බදු අයකිරීමක් සිදුකෙරන බවත්, ඊට වැට් බද්ද ද එකතු කළ විට එය 45% ක් පමණ වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය පවසයි.

අද (20) දින පාර්ලිමේන්තුවේ දී මන්ත්‍රීවරිය මේ බව අනාවරණය කළ අතර මේ හේතුවෙන් සනීපාරක්ෂක තුවාවල මිල අධික ලෙස ඉහළ යාම නිසා පාසල් ළමුන්ට බලපෑමක් මෙන්ම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරුදායක තත්ත්වයක් මතුව ඇති බව ද අවධාරණය කළාය.

සැනිටරි නැප්කින්ස්වලට 42% ක් පහුගිය කාලේ ටැක්ස් එකක් වැදුනා.  සියලු ටැක්ස් එකතු වුණාම 42% ක් විතර. වැට් එක තව ටිකක් වැඩි කළාම 15% වුණාම, 42 ට තව 3 ක් එකතු වෙලා 45 ක් විතර වෙනවා.

පාසැල්වල ළමයින්ට ලොකු බලපෑමක් වෙනවා වගේම කාන්තාවන්ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් අනතුරක් ඒක ඇතුලේ තියෙනවා.

මේ ටැක්ස් අඩු කර ගන්න හැකියාවක් තියෙනවා නම්, මේක සුඛෝපභෝගී භාණ්ඩයක් ගණයට තමයි වැටිලා තියෙන්නේ. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා සුඛෝපභෝගී භාණ්ඩ ගණයෙන් මේක අයින් කරලා මේකේ ටැක්ස් අයින් කරලා දෙන්න.

එහෙම කළොත් ඇත්තටම අපේ රටේ නිෂ්පාදනය කරන වර්ග දෙකක් විතර තියෙනවා. අනිත් ඒවා පිටරටින් ගේන්නේ. පිටරටින් ගේන ඒවා ඉතාමත්ම ගණන්.

මම යෝජනා කරනවා ඒ ටැක්ස් සම්බන්ධයෙන් යම්කිසි තීන්දුවක් ගන්න පුළුවන් නම් හොඳයි කියලා.

මීට ප්‍රතිචාර දක්වමින් වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවසුවේ මෙම කර්මාන්තයේ නිරත දේශීය සමාගම් නියෝජිතයින් සමඟ අද (20) දිනයේ දී සාකච්ඡාවක් පවත්වන බවයි.

මේ ප්‍රශ්නේ සම්බන්ධව මාව දැනුවත් කළා ගිය සිකුරාදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇමතිතුමත්, රාජ්‍ය ඇමතිතුමියත්. ඒ නිසා අද හවස මම දේශීය නිෂ්පාදන සමාගම් සහ ආනයන කරන ඒ සියලු දෙනා ගෙන්නලා කතා කරනවා.

එතන දී ගැටළුවක් තිබ්බොත් ඒක විසඳන්න, ඒ වගේම ආනයනය කරන නැප්තින් සඳහා අය කරන බදු ප්‍රමාණය, ඒ තියෙන ගැටළුවක් තිබ්බොත් අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරලා ඒ සඳහා විසඳුමක් ලබා දෙන්නම්. මම හිතන්නේ මේ සතියේ දී විසඳුමක් ලබා දෙන්න පුළුවන්.