• Ada Derana BIZ Sinhala
  • Social Security Contribution Levy Bill
  • sri lanka
  • 𝐒𝐋𝐩𝐚𝐫𝐥𝐢𝐚𝐦𝐞𝐧𝐭

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායකවරයා සිය සහතිකය සටහන් කරයි

September, 21, 2022

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඊයේ (20) සිය සහතිකය සටහන් කළ බව අද (21) පාර්ලිමේන්තුවට නිවේදනය කළේය.

මෙම පනත් කෙටුම්පත පසුගිය 08 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.රාජ්‍ය ආදායම ඉහළ නැංවීම සහ කෝවිඩ් 19 වසංගතයෙන් පීඩාවට පත් ආර්ථිකය නැවත ගොඩනැගීමේ අරමුණින් හදුන්වා දෙනු ලැබූ පියවරක් ලෙස 2022 අයවැය මඟින් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද හඳුන්වා දෙන ලදී.

වාර්ෂික පිරිවැටුම රු. මිලියන 120 ඉක්මවනු ලබන ආනයනකරුවන්, නිෂ්පාදකයින්, සේවා සපයන්නන් සහ තොග වෙළෙන්දන් සහ සිල්ලර වෙළෙන්දන්ගේ බද්දට යටත් පිරිවැටුම මත සියයට 2.5 ක අනුපාතයකින් මෙම බද්ද අය කෙරේ. මෙම බද්දෙන් අපේක්ෂිත ආදායම වසරකට රු. බිලියන 140 කි.

ඒ අනුව 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත ඊයේ (20) සිට බලාත්මක වේ.