වාහනයක් ලක්ෂ 5 කින් වැඩිවෙයි – ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති කියයි

    January, 14, 2016

    මේ වන විට ඇමරිකානු ඩොලරය, ජපාන යෙන්, බ්‍රිතාන්‍ය පවුම් යනා දී විදේශ විනිමයවල වටිනාකම සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බවත් මේ තත්ත්වය මත ඉදිරියේ දී ආනයනය කරනු ලබන මෝටර් රථයක මිල ලක්ෂ 5 ත් 6 ත් අතර මිලකින් ඉහළ යා හැකි බවත් ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා පවසයි. මේ හේතුව මත තම සංගමය පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටින්නේ හැකි ඉක්මණින් තම වාහනය මිල දී ගන්නා ලෙස බව ඒ මහතා වැඩිදුරටත් මෙහිදී කියා සිටියේය.

    “2015 නොවැම්බර් 20 වනදා සිට මේ දක්වා කාලය තුළ රේගුව තුළ රඳවා තබා ගෙන ඇති වාහන වෙනුවෙන් එක් වාහනයකට රුපියල් 70,000 ක පමණ ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදු වී තිබෙනවා. එසේම පාරිභෝගිකයින් විශාල පිරිසක් බලාපොරොත්තුවෙන් හිටියා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිසා අඩු මිලට මෝටර් රථයක් මිල දී ගැනීමට හැකිවෙයි කියලා. නමුත් පාරිභෝගිකයින්ට පණිවුඩයක් දෙන්න ඕනේ, ජනාධිපතිතුමා දුන්න තීන්දුව ඉතාමත්ම සීමිත පිරිසකට දීපු දෙයක්, එම මෝටර් රථ නිදහස් කිරීමේ දී පැරණි බදු ක්‍රමය යටතේ මෝටර් රථ රේගුවෙන් නිදහස් කර ගැනීමෙන් පසු ණයවර ලිපිය විවෘත කරන පුද්ගලයාගේ නමටම එම වාහනය ලියාපදිංචි කළ යුතු වෙනවා. අවුරුදු 5 ක් යනතුරු තව කෙනෙකුට පවරන්න බැහැ කියලා කොන්දේසියක් යටතේ තමයි මෙසේ ලියාපදිංචි කළ යුතු වන්නේ“, යැයි ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

    “රජයට තියෙනවා හිමිකමක් තීරුබදු වැඩිකරන්න. අපිට ඒකට බලපෑම් කරන්න බැහැ. කෙසේ වෙතත් මේ රටේ ව්‍යාපාරිකයින් ආරක්ෂා කර ගැනීමට පියවර ගැනීම රජයෙන් සිදුවිය යුතු දෙයක් බවට අප සංගමය විශ්වාස කරනවා“, යනුවෙන් ශ්‍රී ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති මහින්ද සරත්චන්ද්‍ර මහතා කියා සිටියේය.