ලංකාවේ අපනයනකරුවන්ගේ පර්යේෂණ හා සංවර්ධන පරිචය ඉහළ නැංවීමට EDB හා SLINTEC අවබෝධතා ගිවිසුමක

    January, 14, 2016

    ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹීමට අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) පසුගිය දා කටයුතු කරන ලදී. ශ්‍රී ලංකාවේ අපනයනකරුවන්ගේ පර්යේෂණ හා සංවර්ධන හැකියාවන් වැඩිදියුණු කිරීමෙහිලා මෙම තීරණය ගෙන තිබේ.

    මෙම කර්තව්‍යයේ කොටසක් ලෙසින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය සඳහා නවම් මාවතේ පිහිටි අපනයන සංවර්ධන මණ්ඩල මූලස්ථානයේ දී කාර්යාලයක් විවෘත කිරීමේ අවස්ථාව හිමිවනු ඇත. මීට අමතරව ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ මූලෝපායික හා ව්‍යාපාර සංවර්ධන කාර්ය මණ්ඩලය නිතිපතා මෙම කාර්යාලයේ රැඳෙන අතර අපනයනකරුවන් හට සිය නිෂ්පාදිත, නවෝත්පාදන ආදිය සම්බන්ධයෙන් කරුණු දැන ගැනීම සඳහා සතිපතා ‘විද්‍යා සායනයක්‘ පැවැත්වීමට ද නියමිතය.

    අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත හා ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනයේ සභාපති මහේෂ් අමලීන් යන මහත්ම මහත්මීන් මෙම ගිවිසුම සඳහා අත්සන් තබන ලදී.