කොළඹ කොටස් යළි පණ ගසයි

    January, 21, 2016

    දීර්ඝ කාලයකට පසු කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් අද දිනය තුළ කැපී පෙනෙන වර්ධනයක් අත්පත් කර ගෙන තිබේ. අද (21) මධ්‍යහ්නය වන විට සියලු කොටස් මිල දර්ශකය ඒකක 85.40 කින් ඉහළ ගොස් ඒකක 6,346.58 ක් ලෙසින් දැක්වුණු අතර S&P SL20 දර්ශකය ඒකක 55.59 කින් ඉහළ ගොස් ඒකක 3,296.67 ක් ලෙසින් වාර්තා විය.

    දිනයේ පළමු භාගය තුළ රුපියල් මිලියන 591 ක පිරිවැටුමක් වාර්තා වී තිබිණි.

    මේ වන විට සමාගම් කිහිපයකම 2015 දෙසැම්බර් 31 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය වාර්තා එළි දැක්වී තිබෙන අතර සිලෝන් කෝල්ඩ් ස්ටෝර්ස්, කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස්, බයිරහ ෆාම්ස් වැනි සමාගම් කිහිපයක්ම එහිදී ඉතා හොඳ කාර්යසාධනයක් වාර්තා කර තිබේ.

    ඊයේ (20) දිනය වන විට 2016 වසර තුළ දී 9.19% කින් සියලු කොටස් මිල දර්ශකය පහත වැටී තිබිණි. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී කොටස් තැරැව්කාර සමාගම් නියෝජිතයෙකු කියා සිටියේ තාක්ෂණික විශ්ලේෂණයන් (Technical Analysis) අනුව කොටස් වෙළෙඳපොළේ තවදුරටත් පහළ යාමක් බලාපොරෙත්තු විය නොහැකි බවත්, දින කිහිපයකට හෝ මිල මට්ටම්වල ඉහළ යාමක් බලාපොරොත්තු විය හැකි බවත්ය.