දෙසැම්බරයේ දී උද්ධමනය බසී

    January, 22, 2016

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ (2013 = 100) විචලනය මඟින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2015 නොවැම්බර් මාසයේ දී වාර්තා කළ 4.8% සිට 2015 දෙසැම්බර් මාසයේ දී 4.2% දක්වා පහළ ගොස් තිබේ. මේ අතර 2015 දෙසැම්බර්යේ වාර්ෂික සාමාන්‍ය පදනම මත උද්ධමනය 3.8% ක් ලෙසින් වාර්තා වේ.

    ජාතික පාරිභෝගික මිල දර්ශකය 2015 නොවැම්බර් සිට දෙසැම්බර් දක්වා 1.1% කින් ඉහළ ගොස් ඇත. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තුමේන්තුව පෙන්වා දෙන පරිදි ආහාර හා මද්‍යසාර නොවන පාන වර්ග අයත් කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් ඉහළ යාම, දර්ශකයේ මෙම මාසික ඉහළ යාම කෙරෙහි ප්‍රධාන වශයෙන් හේතු වී ඇත.

    දෙසැම්බර් මාසය තුළ දී එළවළු, අමු මිරිස්, සහල් සහ නැවුම් මත්ස්‍ය මිල ගණන් ඉහළ ගොස් තිබෙන අතර ලොකු ළූනු, දෙහි, අර්තාපල්, වියළි හාල්මැස්සන් සහ කුකුළු මස් මිල පහළ ගොස් තිබේ.

    මේ අතර මධ්‍යසාර පාන, දුම්කොළ හා මත්ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා දෛනික ගෘහ ඒකක නඩත්තුව, ප්‍රවාහන, අධ්‍යාපන සහ ආපනශාලා හා හෝටල් යන උප කාණ්ඩවල මිල ගණන් ද 2015 දෙසැම්බර් මාසයේ දී වැඩි වී ඇත.

    දෙසැම්බර් මාසය තුළ දී මිල ගණන් පහළ ගොස් ඇති උපකාණ්ඩයන් වශයෙන් රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා අනෙකුත් ඉන්ධන හඳුනාගෙන තිබේ.සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික, විවිධ භාණ්ඩ හා සේවා උපකාණ්ඩ දෙසැම්බර් මාසය තුළ දී වෙනසකට ලක් වී නොමැත.