කොළඹ කොටස් අද ස්ථාවරයි

    January, 22, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළ අද දිනයේ දී ක්‍රමික වර්ධනයක් වාර්තා කළ අතර දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 32.53 කින් හෙවත් 0.51% කින් ඉහළ ගොස් ඒකක 6,382.24 කි වශයෙන් වාර්තා විය. S&P SL20 දර්ශකය දිනය තුළ දී ඒකක 21.87 කින් ඉහළ ගිය අතර ගනුදෙනු අවසානයේ දී එය දැක්වුණේ ඒකක 3,315.36 ක් වශයෙනි. මෙය පෙර දිනයට සාපේක්ෂව 0.66% ක වර්ධනයකි. අඛණ්ඩව කොටස් වෙළෙඳපොළ ඉහළ නැඟි දෙවන දිනය අදයි.

    දිනය තුළ වාර්තා වූ පිරිවැටුම රුපියල් මිලියන 630.6 කි. මෙහිදී ගිවිසා ගනු ලැබූ ගනුදෙනු (Crossings)ලෙසින් අනිලානා හොටේල්ස් - රුපියල් මිලියන 20 ක්, රේණුකා ඇග්‍රි ෆුඩ්ස් - රු. මිලියන 139 ක්, සිලෝන් ටුබැකෝ - රු. මිලියන 74.9 ක් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් - රු. මිලියන 31.9 ක් වශයෙන් වාර්තා විය.

    මීට අමතරව සාමාන්‍ය කොටස් ගනුදෙනු හරහා වැඩිම පිරිවැටුමක් වාර්තා කර තිබුණේ සිලෝන් ග්‍රේන් එලවේටර්ස් සමාගමයි. එය රු. මිලියන 39 කි. මීට අමතරව ටෙක්ස්චර්ඩ් ජර්සි - රු. මිලියන 25 .9 ක්, ත්‍රී ඒකර් ෆාම්ස් - රු. මිලියන 22.8 ත් හා ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් - රු. මිලියන 20.87 ක් ලෙසින් දෛනික පිරිවැටුමට ඉහළ දායකත්වයක් ලබාදීමට සමත් වූ සෙසු සමාගම් ලෙසින් දැක්විය හැකිවේ.

    දිනය තුළ දේශීය ගැණුම් රු. මිලියන 484 ක් හා දේශීය විකුණුම් රු. මිලියන 327 ක් ලෙසින් වාර්තා වන අතර විදේශීය ගැණුම් රු. මිලියන 146 ක් ලෙසත්, විදේශීය විකුණුම් රු. මිලියන 304 ක් ලෙසත් වාර්තා වේ.

    20106 වසරේ මේ වන විට සති තුනක කාලයක් කොටස් වෙළෙඳපොළ ගනුදෙනු පැවති අතර සියලු කොටස් මිල දර්ශකයට අනුව වසරේ මේ දක්වා කාලය තුළ සමස්ත කොටස් වෙළෙඳපොළ 7.43% කින් කඩා වැටී ඇත.