February, 2, 2016
අද (02) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය ඒකක 62.78 කින් ඉහළ ගිය අතර එය පෙර දිනයට සාපේක්ෂව 0.99% ක ඉහළ යාමක් ලෙසින් වාර්තා වේ. දිනය අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 6,425.96 ක් ලෙසින් සටහන්ව තිබිණි. S&P SL20 දර්ශකය ද අද දින තුළ 1.05% කින් වර්ධනය වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 3,357.42 ක් වශයෙන් වාර්තා වූයේ ඊයේ දිනට වඩා ඒකක 34.96 ක් ඉහළ යමිනි.
අද දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී දක්නට ලැබුණු සුවිශේෂී කරුණ වූයේ රුපියල් බිලියන 3.89 ක දැවැන්ත පිරිවැටුමක් වාර්තා වී තිබීමයි. මේ සඳහා ඉහළ දායකත්වයක් ලබා දෙන ලද්දේ එක්පෝලංකා හෝල්ඩිංග්ස් හි කොටස් ගනුදෙනුවකි.
මෙහිදී එක්ස්පෝලංකා හි කොටස් මිලියන 313.82 ක් රු. 8.30 බැගින් ගනුදෙනු වූ අතර එම සමාගමේ දෙවන විශාලතම කොටස් හිමියා වූ ඔස්මාන් කාසිම් ගේ කොටස් 163,191,899 ක් මෙහිදී අලෙවි කොට තිබිණි. තවද ෆාඩ්ක් කාසිම්, සට්ටාර් කාසිම් හා ෂාෆික් කාසිම් යන සමාගමේ තෙවන, සිව්වන හා පස්වන කොටස් හිමියන් විසින් ඔවුන් ගේ හිමිකාරීත්වයෙන් කොටස් 50,208,034 බැගින් මෙහිදී අලෙවි කිරීමට පියවර ගෙන ඇත. ඒ අනුව එක්ස්පෝලංකා කොටස් ගනුදෙනුව හරහා වාර්තා වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6 කි.
එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පළමු විශාලතම කොටස්කරුවා වන ජපානයේ SG Holdings Global PTE. LTD සමාගම මෙම ගනුදෙනුවේ ගැණුම්කාර පාර්ශවය විය. මෙම ගනුදෙනුවත් සමඟම SG Holdings Global PTE. LTD හි එක්ස්පෝලංකා හිමිකාරීත්වය 51.43% සිට 67% දක්වා වර්ධනය වී තිබේ. ගැණුම් පාර්ශවය වෙනුවෙන් මෙම ගනුදෙනුව සිදුකරන ලද්දේ නවාරා කොටස් තැරැව්කාර සමාගමයි.
එක්ස්පෝලංකා ගනුදෙනුවට අමතරව ලංකා අශෝක් ලේලන්ඩ් කොටස් 112,850 ක් රු. 1,518.20 බැගින්, සෙන්ට්‍රල් ෆිනෑන්ස් කොටස් මිලියන 2.31 ක් රු. 225.50 බැගින් හා කෝමර්ෂල් බැංකුවේ කොටස් 441,006 ක් රු. 130.00 බැගින් ගිවිසාගත් ගනුදෙනු වශයෙන් අද දින වාර්තා වී තිබේ.
අද දින සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාම සඳහා ලංකා දුම්කොළ සමාගම, ජෝන් කීල්ස්, ඩිස්ටිලරීස් හා කාර්ගිල්ස් සමාගම් හි කොටස් මිල ගණන් ඉහළ යාම වැඩි දායකත්වයක් ලබා දෙන ලදී.
දිනය අවසානයේ දී දෛනික පිරිවැටුමෙන් රුපියල් බිලියන 2.84 ක් විදේශීය ගැණුම් ලෙසින් සටහන් වූ අතර අද දින දේශීය විකුණුම් රුපියල් බිලියන 3.63 ක් වශයෙන් වාර්තා වී තිබිණි.
Video Story