2020 දී IMF සංවිධානයෙන් ඉවත්වීම අදූරදර්ශී තීරණයක් – ජනපති

    February, 8, 2023

    2020 වසරේ දී ශ්‍රී ලංකාව අයි.එම්.එෆ් සංවිධානයෙන් ඉවත් වීම අදුරදර්ශී තීරණයක් බවත්, වර්තමාන කටයුතුවලට එම අදුරදර්ශී තීරණය ද බලපා තිබෙන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අද (08) දින නවවැනි පාර්ලිමේන්තුවේ සිව්වැනි සභාවාරය උත්සවාකාරයෙන් විවෘත කිරීමෙන් පසු පාර්ලිමේන්තුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

    ග්‍රීසිය මීට කාලෙකට කලින් අපි වගේම බරපතල ආර්ථික අර්බුදයකට මැදි වුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන් ගොඩඒම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදි නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුළ තුන් වතාවක් අයි.එම්.එෆ් සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා.

    නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.

    2020 වසරේ අපි අයි.එම්.එෆ් සංවිධානයෙන් ඉවත් වුණා. ඒ අදුරදර්ශී තීරණයත් වර්තමාන කටයුතුවලට බලපා තිබෙනවා. බංග්ලාදේශයට ඉක්මනින් අයි.එම්.එෆ් සහන ලබා ගැනීමට හැකි වුණේ ඔවුන් දිගටම එම සංවිධානය සමඟ සිටි නිසයි. අපට සිදු වුණේ සියලු සම්බන්ධකම් මුල සිටම යළි ආරම්භ කරන්නයි. කොහොම වුණත් අපි අසීරුතා මැද මුල සිටම ගමන ආරම්භ කළා.

    දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැකි අනෙක් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යාමට හැක්කේ ඔවුන් සමඟ ඇතිකරගන්නා පදනම මතයි. ඒ  හැරෙන්නට අපට වෙනත් කිසිදු මාර්ගයක් නෑ. අප යන ගමන්මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

    මේ වන විට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එලැඹිලා. පසුගිය සැප්තැම්බරය වෙද්දි මූලික එකඟත්වයට එළැඹීමට අපට පුළුවන් වුණා. දැන් තියෙන්නේ ණය තිරසර කරලීමේ වැඩපිළිවෙළයි.

    ඊට අදාළව පැරිස් සමාජය සමඟ අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක් පැත්තකින්, පැරිස් සමාජය සහ ඉන්දියාව සාකච්ඡා පවත්වනවා. අප සෘජුවම චීනය සමඟ සාකච්ඡා පවත්වනවා. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තියෙනවා. අනෙක් රටවල ප්‍රවේශයන් සහ චීනයේ ප්‍රවේශය එක මතයකට ගෙන ඒමට දැන් අපි කටයුතු කරමින් සිටිනවා. මේ වෑයමේදී අපට සහාය වන සියලු රටවල් වෙත අපේ කෘතවේදීත්වය මම මේ අවස්ථාවේ පළ කර සිටිනවා.

    අයි.එම්.එෆ්. සංවිධානය සමඟ ඇතිකරගන්නා එකඟත්වය සඳහාත්, ණය ප්‍රතිව්‍යුහගත කිරීම් සඳහාත් සිය උපරිම සහාය ලබාදෙන බව ඊයේ පැරිස් සමාජය නිවේදනය කළා. ඒ නිවේදනයත් සමඟ අපට පැරිස් සමාජයේ මූල්‍ය සහතිකය ලැබෙනවා. ඔවුන් මේ තීරණය ගත්තේ ඔවුන්ගේ සාමාජික රටවල්, ඉන්දියාව මෙන්ම ලෝක බැංකුව සහ අයි.එම්.එෆ් නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡා වාරයකින් පසුවයි.

    මේ තීරණය අපට විශාල ශක්තියක්. ධෛර්යයක්. ශක්තිය සහ ධෛර්යය ලබාදීම පිළිබඳව මම ස්තූතිය පළ කරනවා.