February, 8, 2023
සේවා නියුක්ති ආදායම ගණනය කිරීමේ දී මූල්‍ය නොවන ප්රතිලාභ අගයයන් ප්‍රමාණනය කිරීම සම්බන්ධයෙන් දේශීය ආදායම් දොපර්තමේන්තුව විසින් නව චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
උපයන විට බදු අය කිරීමේ දී මෙම මූල්‍ය නොවන ප්රතිලාභ අගයයන් ද සලකා බැලෙනු ඇත.
ඊට අනුව මූල්‍යමය නොවන ප්රතිලාභ සඳහා වටිනාකම ගණනය කිරීමේ දී කාණඩ 5ක් යටතේ ගණනය කිරීම් සිදුකෙරෙන අතර එම කාණ්ඩයන් පහත පරිදි වේ.
1. සේවායෝජකයා විසින් ප්රදානය කළ සමාගම් කොටස්වල වටිනාකම
2. සේවායෝජකයෙකු විසින් සපයන ලද ඕනෑම වාසස්ථානයකින් වන ප්රතිලාභවල වටිනාකම
3. සේවායෝජකයා විසින් සපයන ලබන ප්‍රවාහන පහසුකම්වල වටිනාකම
4. සේවායෝජකයා විසින් සපයන ලබන සන්නිවේදන පහසුකම්වල වටිනාකම
5. සේවායෝජකයා විසින් සපයා ඇති අනෙකුත් මූල්‍ය-නොවන ප්රතිලාභ
මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ලබා ගන්නා පුද්ගලයන්ගේ උපයන විට බදු අයවන ආකාරය සංශෝධනය කිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. මුදල් අමාත්‍යවරයා ලෙස අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ මගපෙන්වීම යටතේ මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බවයි.
ඒ අනුව,
නිවාස -
දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් 12.5%ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්න පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් 12.5%ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් 12.5%ක් ලෙස සංශෝධනය කර තිබේ.
ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් 2.5%ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.
වාහන -
එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් වෙනස් කර ඇත.
ඉන්ධන දීමනාව 100%ක් ලෙස බද්දට යටත් වූ අතර එය 25%ක් දක්වා අඩු කර තිබේ.
මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.
දුරකතන -
100%ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් 25%ක් පමණක් ප්රතිලාභ ලෙස නව සංශෝධනව මගින් සලකනු ලබයි.
සහනදායී ණය පොලී -
සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය බදු සඳහා සලකා නොබලයි.
අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසන්නේ මෙම වෙනස් කිරීම් මගින් සැලකිය යුතු සහනයක් අදාළ පාර්ශ්ව වෙත හිමි වන බවයි.
මෙම සම්පූර්ණ චක්‍රලේඛය පහතින් දැක්වේ.



