දෙපාර්ශ්වයේ ක්ෂේත්‍ර ගණනාවක ආර්ථික සහයෝගිතාව ශක්තිමත් කිරීම මඟින් තවදුරටත් වර්ධනය කළ හැකි ආර්ථික ශක්‍යතා සහ අනුපූරක ආර්ථික ව්‍යුහයන් හඳුනාගනිමින් දැනට පවතින ද්විපාර්ශ්වික වෙළෙඳ වටිනාකම ඇමෙරිකානු ඩොලර් මිලියන 550 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 දක්වා වැඩි කිරීමේ අපේක්ෂාව සහිතව ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර නිදහස් වෙළෙඳ ගිවිසුමක් සඳහා මූලික කටයුතු 2016 වර්ෂයේ ආරම්භ කරනු ලැබ ඇත.
ඒ අනුව, භාණ්ඩ, ප්‍රභවය පිළිබඳ රීති, සේවා, ආයෝජන, ආර්ථික සහයෝගීතාව, වෙළෙඳ ප්‍රතිකර්ම, රේගු ක්‍රියාපටිපාටි හා වෙළෙඳ පහසුකම් සහ බුද්ධිමය දේපළ ආවරණය වන පරිදි යෝජිත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම සඳහා 2018-07-03 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව, 2018 ජූලි මාසයේදී පළමු සාකච්ඡා වටය ශ්‍රී ලංකාවේදී සහ දෙවන සාකච්ඡා වටය 2018 සැප්තැම්බර් මාසයේදී තායිලන්තයේ බැංකොක් නුවරදී ද පවත්වනු ලැබ ඇත.
එහි තෙවන සාකච්ඡා වටය 2023 ජනවාරි මස 09 සහ 10 දිනවල කොළඹ දී පවත්වා ඇති අතර, එම සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ තොරතුරු අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ල ගන්නා ලදී.