February, 10, 2016
ජාතික ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සමාගමවන ලිට්රෝ ගෑස් සමාගම, රු. බිලියන 6 කට අධික දළ ලාභයක් සමගින් 2015 වසර තුළ කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් විය. මීට අමතරව 2015 වසර තුළ සිය ධාරිතාව 22% කින් වර්ධනය කර ගැනීමට මෙන්ම නව සබඳතා 485,548 ක් සමගින් වෙළඳපල වර්ධනයක් ද ලිට්රෝ ගෑස් සමාගම අත්පත් කර ගෙන ඇත.
අලෙවි නියෝජිතයන් 5,000 කට අධික සංඛ්‍යාවකගෙන් සමන්විත සිය අලෙවි ජාලය තුළින් දිවයිනේ සෑම ප්‍රදේශයක ම පාහේ LP ගෑස් ව්‍යාප්ත කිරීමට ලිට්රෝ ගෑස් සමාගමට හැකියාව ලැබී ඇත. "මෙරට සියලු ම ග්‍රාමීය පෙදෙස්වල ලිට්රෝ ගෑස් මිලදී ගැනීමේ පහසුකම උදා කිරීම අප ඉතා වැදගත් කාර්යභාරයක් ලෙස සලකනවා. එසේ කටයුතු කරන අතරතුර, අපගේ සෑම පාරිභෝගිකයෙකුට ම ගුණාත්මක බවින් ඉහල නිෂ්පාදන ලබා දීම සඳහා උපරිම ආරක්‍ෂිත පිළිවෙත් අනුගමනය කිරීමට අප සෑම විට ම කටයුතු කරනවා." ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ මහතා සඳහන් කළේය.
සිය සාර්ථකත්වය පිළිබඳ අදහස් දක්වමින් ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ශලිල මුණසිංහ සහ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මහත්වරුන් ප්‍රකාශ කළේ 2015 වසර තුළ අන් සෑම වසරකට ම වඩා විශාල මිලක් අඩු කිරීම හේතුවෙන් තමන්ට නව සබඳතා 485,000 කට අධික සංඛ්‍යාවක් ඇති කර ගැනීමට හැකි වූ බවය. එමගින් රු. බිලියන 6 කට අධික වාර්තාගත දළ ලාභයකට මෙන්ම මෙට්‍රික් ටොන් 209,000 කට අධික ධාරිතාවකට ද හිමිකම් කීමට තමන්ට හැකි වූ බව ද ඔවුහු වැඩිදුරටත් ප්‍රකාශ කළෝය.
"අපගේ සැපයුම් දාමය පුරා සුරක්ෂිතතාව පවත්වා ගැනීම වෙනුවෙන් අප අපගේ කාර්යමණ්ඩල සාමාජිකයන් වෙනුවෙන් අඛණ්ඩව ආයෝජනය කරනවා. වඩාත් උසස් මට්ටමේ නිෂ්පාදන අපගේ පාරිභෝගික ජනතාව වෙත ලබා දීම සඳහා සිලින්ඩර් පිළිසකර කිරීමේ පහසුකම් යාවත්කාලීන කිරීමට ද අප කටයුතු කර තිබෙනවා. මෙම වැඩිදියුණු කිරීම් තුළින් අපගේ ගුණාත්මක බව සහ ප්‍රමිතිය තවදුරටත් වර්ධනය කර ගැනීමට අපට හැකි වනු ඇති." පීරිස් මහතා ප්‍රකාශ කළේය.
සමාගම තුළ අඛණ්ඩ සංවර්ධනයක් සහ වර්ධනයක් සිදු කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම නිබඳව සිය කාර්යමණ්ඩල සාමාජිකයන් කෙරෙහි අවධානය යොමු කරයි. විශිෂ්ට දස්කම් පෑ කාර්යමණ්ඩල සාමාජිකයන් විශාල පිරිසකට 2015 වසර තුළදී රැකියා උසස්වීම් ද හිමි වීම විශේෂත්වයකි.
සුරක්ෂිතතාව පිළිබඳ අන් කිසිඳු සමාගමකට නොදෙවෙනි වන ආකාරයේ වාර්තාවක් ලිට්රෝ ගෑස් සමාගම සතුය. "අපගේ ව්‍යාපාරය රඳා පවතිනුයේ ද්‍රව පෙට්‍රෝලියම් මතවන බැවින් අප සුරක්ෂිතතාව කෙරෙහි ප්‍රමුඛ අවධානයක් යොමු කරනවා. එම තත්ත්වයන් යටතේ ගබඩා කෙරෙන ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් නගරබද පෙදෙස්වලට මෙන්ම ග්‍රාමීය පෙදෙස්වලට ද එක සේ පහසුවෙන් ප්‍රවහානය කළ හැකි වෙයි." පීරිස් මහතා අදහස් පළ කළේය.
2015 වසර තුළ මිනිස් පැය 888,413 ක් සමාගම විසින් භාවිතා කරනු ලැබ ඇති අතර, එහිදී කිසිඳු අනතුරක් වාර්තා නොවීම විශේෂත්වයකි. සමාගම සතු නවීන පහසුකම්වලින් සමන්විත ගෑස් පර්යන්තය, පිරවුම් පහසුකම් සහ බෙදාහැරීමේ රථ හේතුවෙන් සැපයුම අඛණ්ඩව පවත්වා ගැනීමට සමාගමට හැකියාව ලැබී ඇත. පැටවුම් ක්‍රියාවලියේ සිදු කර ඇති නවෝත්පාදනය සහ නව හඳුන්වාදීම් හේතුවෙන් මෙහෙයුම් කණ්ඩායමට මෙම විශිෂ්ට ජයග්‍රහණය අත්පත් කර ගත හැකි වූ බව සමාගම පවසයි. කළමනාකරණ ශිල්පීය ක්‍රම සහ කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ මැදිහත්වීම තුළින් පද්ධති සහ ක්‍රියාවලීන්වල කාර්යක්ෂමතාව සහ ඵලදායීතාව වර්ධනය කරමින්, දිනෙන් දින වෙනස්වන ව්‍යාපාරික ලෝකය තුළ කාර්යක්ෂමව නැගී සිටීමට සමාගම සමත්ව සිටී.
"සමාගම තුළ යහපාලනය සහ පරිපාලනය තහවුරු කිරීම සඳහා අප විශේෂ අවධානය යොමු කර තිබෙනවා. සමස්ත රටට ම ආදර්ශමත් සමාගමක් බවට ලිට්රෝ ගෑස් සමාගම පත් කිරීම උදෙසා, යහපාලන ප්‍රතිපත්ති සහ ක්‍රමවේද තහවුරු කිරීමේ අරමුණ පෙරදැරිව 2015 වසරේ පෙබරවාරි මාසයේදී නව මණ්ඩලයක් ද පත් කරනු ලැබුවා. මීට සමගාමීව 2015 වසරේ පෙබරවාරි මස මැදදී සභාපතිතුමන් සහ කළමනාකාර අධ්‍යක්ෂතුමන් සිය රාජකාරි කටයුතු ආරම්භ කළා." මුණසිංහ මහතා සඳහන් කළේය.
සිය සමාජ වගකීම නොපිරිහෙලා ඉටු කරන ලිට්රෝ ගෑස් සමාගම වසරක් තුළ සිදු කළ වැඩිම ප්‍රජා සත්කාරක වැඩසටහන් ප්‍රමාණය වාර්තා කිරීමට 2015 වසරේදී සමත් වූ අතර එමගින් දිවයිනේ නන් දෙස විසිරී සිටින ජනතාවට සෙත සැලසිණි. අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරුණු වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහන ඒ අතර කැපී පෙනෙයි. ග්‍රාමීය ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීම සඳහා විවිධ වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරුණු අතර, මේ වසරේදී ද ප්‍රජා සත්කාරක වැඩසටහන් තවදුරටත් වර්ධනය කිරීම සමාගමේ අරමුණයි.
2016 වසරේදී හම්බන්තොට වරායේ පිරවුම් යන්ත්‍රාගාරයක් ස්ථාපනය කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම මේවන විට ද සැලසුම් සකස් කර ඇත. මෙය මෙරට පිහිටි දෙවන ගෑස් පර්යන්තය සහ පිරවුම් යන්ත්‍රාගාරයවන අතර එම පර්යන්ත දෙකම ලිට්රෝ ගෑස් සමාගමට අයත් වේ. මෙම යන්ත්‍රාගාරය මූලිකව මෙරට දකුණු සහ නැගෙනහිර පළාත්වල බෙදාහැරීම් සඳහා භාවිතාවනු ඇත. හම්බන්තොට වරායේ පිහිටි ලිට්රෝ ගෑස් ටර්මිනලය LP ගෑස් අපනයනය කිරීමට සමත් මෙරට එකම ගෑස් පර්යන්තය වේ.
තවද, ශ්‍රී ලංකාව තුළදී ම සිලින්ඩර නිෂ්පාදනය කිරීම සඳහා ද ලිට්රෝ ගෑස් සමාගම සැලසුම් සකස් කර ඇත. මෙමගින්, ව්‍යාපාරික කටයුතු තවදුරටත් පහසුවන අතර, වෙනත් රටකින් සිලින්ඩර ආනයනය කිරීම සඳහා වැයවන පිරිවැය ඉතිරි කර ගැනීමට ද හැකිවනු ඇත.
මෙරට ජනතාවගේ අංක එකේ බලශක්ති සහකරු බවට පත් වීමේ සිය දැක්ම අනුව යමින්, බලශක්ති ක්ෂේත්‍රයට අදාළ වෙනත් අංශ දක්වා ද සේවාවන් විවිධාංගිකරණය කිරීමට ලිට්රෝ ගෑස් සමාගම සැලසුම් කර ඇත. ඒ අනුව, "ලිට්රෝ ඉන්ධන" සන්නාමය යටතේ දිවයින පුරා ඉන්ධන හල් ස්ථාපනය කිරීම සඳහා ලිට්රෝ ගෑස් සමාගම නුදුරේදී කටයුතු කරනු ඇත. සිය සමාගමේ ව්‍යාපාර වෙනත් ක්ෂේත්‍ර ඔස්සේ ද ව්‍යාප්ත කිරීමට දැන් කාලය එළඹ ඇති බවත්, ඊට අවශ්‍ය වාතාවරණය සකස් කරමින් සිටින බවත් සභාපතිතුමා සහ කළමනාකාර අධ්‍යක්ෂතුමා පැවසූහ.
ලිට්රෝ ගෑස් සමාගම සිය ගමන්මග තුළ ඉදිරි පියවර රැසක් තැබීමේ අභිලාෂයෙන් යුතුව 2016 වසර සඳහා පිවිස සිටී. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ සහ අත්දැකීම් බහුල කාර්යමණ්ඩල සාමාජිකයන්ගේ අඛණ්ඩ කැපවීම සහ උනන්දුව තුළින් ලිට්රෝ ගෑස් සමාගම සුබවාදී බලාපොරොත්තු රැසක් සමගින් අනාගතය වෙත පිවිසෙයි.
සේයා රූ සටහන: ලිට්රෝ ගෑස් විධායක සභාපති ශලිල මුණසිංහ මහතා (දකුණ) සහ එම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මුදිත පීරිස් මහතා
Video Story