කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනයට ජර්මන් සහාය

    February, 12, 2016

    රටෙහි ආර්ථික වර්ධනය, රැකියා උත්පාදනය හා දිළිඳුකම පහත හෙළීම සඳහා ලබා දෙන දායකත්වය සැලකිල්ලට ගෙන කුඩා හා මධ්‍යම පරිමාණ ව්‍යවසාය අංශය සංවර්ධනය කළ යුතු වැදගත් අංශයක් ලෙස ශ්‍රී ලංකා රජය විසින් හඳුනා ගනු ලැබ ඇති බව නිවේදනය කර සිටී.

    සංවර්ධනයේ ගාමක බලවේගයක් වීමෙහිලා එම අංශය සතු වැදගත්කම සලකා අපනයන වෙළඳපොළට ප්‍රවිශ්ට වීම සඳහා පහසුකම් සැලසීම රජයේ ප්‍රතිපත්තිය වන බවත්, ඒ අනුව ශ්‍රී ලංකාවේ සහ ජර්මනියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් අතර ව්‍යාපාරික අවස්ථා සහ සහයෝගිතාව ප්‍රවර්ධනය සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීමට රජය අවස්ථාවක් උදාකර ගනු ලැබ තිබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වේ.

    යෝජිත අවබෝධතා ගිවිසුම නුදුරේදී සිදු කිරිමට නියමිත අතිගරු ජනාධිපතිතුමාගේ ජර්මානු සංචා‍රයේදී, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය හා ජර්මානු සමූහාණ්ඩුවේ කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපාරයන් සඳහා වූ ජර්මානු සංගමය අතර අත්සන් තැබීම පිණිස කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.