ෂැංග්‍රිලා හෝටල් සමූහය ශ්‍රී ලංකාවේ ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කරයි

    February, 15, 2016

    ලෝ ප්‍රකට ෂැංග්‍රිලා හෝටල් සමූහය ශ්‍රී ලංකාව තුළ ආයෝජන පුළුල් කිරීමට කැමැත්ත පළ කරයි. එහි උප සභාපති මධු රාඕ (Madhu Rao) මහතා සහ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා අතර පසුගිය දා (10) මුදල් අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී මේ බව අනාවරණ විය. කොළඹ සහ හම්බන්තොට ඉදි කෙරෙමින් පවතින ෂැංග්‍රිලා හෝටල් සමූහය පිළිබඳව මෙහි දී සාකච්ඡා කෙරිණි.

    ඉදිකිරීම්වල ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් මෙහි දී සාකච්ඡාවට බඳුන් වූ අතර ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ සතුටට පත් වන බව රාඕ මහතා සඳහන් කළේ ය.

    එහි දී අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මැතිතුමා කියා සිටියේ විදේශ ආයෝජන සඳහා පූර්ණ සහය ලබා දීමට රජය සූදානමින් සිටින බවයි. ලොව දියුණු රටවල් රැසක් මේ වන විට ශ්‍රී ලංකාවේ ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් අවධානයෙන් පසු වන බවත්, ඇතැම් රටවල් දැනටමත් එම අවස්ථා උදාකරගෙන ඇති බවත් හෙතෙම අවධාරණය කළේ ය. ආයෝජන සඳහා මේ වන විට ශ්‍රී ලංකාව තුළ සුදුසු පරිසරයක් නිර්මාණය වී ඇති බව ද අමාත්‍යවරයා වැඩි දුරටත් පෙන්වා දුන්නේ ය.