ගල්කිස්ස හෝටලය “Words on the Mount” සමගින් සිය සාහිත්‍යමය උරුමය සමරයි

    February, 17, 2016

    ගල්කිස්ස හෝටලයට සමාන වාස්තු විද්‍යාත්මක සහ පොහොසත් ඓතිහාසික උරුමයක් ඇති ශ්‍රී ලාංකේය හෝටල් ඇත්නම් ඒ ඉතා අල්පයකි. සිය අභිමානවත් 210 වන සංවත්සරයට සමගාමීව ගල්කිස්ස හෝටලය විසින් මේ වසරේ ජුලි මසදී සංවිධානය කරනු ලබන "Words on the Mount" වැඩසටහන පිළිබඳ පසුගියදා මාධ්‍ය දැනුම්වත් කෙරිණි.

    ජනතාවගේ නොමඳ අවධානය දිනා ගැනීමට සමත් උළෙල රැසක් සංවිධානය කිරීම වෙනුවෙන් ලෝ පුරා කීර්තිමත් නාමයකට හිමිකම් කියන ගල්කිස්ස හෝටලය, අධිරාජ්‍ය පාලන සමය දක්වා දිව යන සිය ප්‍රෞඩ ඉතිහාසය සහ අසමසම අනන්‍යතාව යළි ස්මරණය කිරීම සඳහා ලෝ ප්‍රකට ලේඛක ලේඛිකාවන් සමග එක්ව දැවැන්ත සංවත්සර උළෙලක් මෙවර සංවිධානය කර ඇත.

    දින දෙකක් පුරා (ජුලි 8 සහ 9) පැවැත්වෙන මෙම විචිත්‍රවත් උළෙලේදී, ශ්‍රී ලංකාව සමග විශේෂ බැඳීමක් ඇති ලේඛකයන් සහ ඔවුන්ගේ නිර්මාණ ප්‍රදර්ශනය කෙරේ.

    "ලාංකේය භූමියට ආදරය කරන ලෝ ප්‍රකට ලේඛක ලේඛිකාවන් රැසක් අප සමග සම්බන්ධ කර ගැනීමට හැකි වීම පිළිබඳ මා බෙහෙවින් සතුටු වනවා. ගල්කිස්ස හෝටලයට ලේඛක ලේඛිකාවන් රැගෙන එමින් සිදු කරන මෙම සුවිශේෂී උළෙලේදී, සාහිත්‍යය, ඉතිහාසය සහ කලාව තුළින් අපගේ සංස්කෘතිය සොයා යාම සඳහා මෙරට ලේඛක ලේඛිකාවන්ට සහ පොදු ජනතාවට අපගේ ප්‍රෞඩ සාහිත්‍යමය ඉතිහාසය පිළිබිඹු කෙරෙනු ඇති." ගල්කිස්ස හෝටලයේ සමූහ සාමාන්‍යාධිකාරී බසීර් කසීම් මහතා සඳහන් කළේය.

    "Mount Lavinia, The Governor's Palace" කෘතිය රචනා කළ ශෙවන්ති ගුණසේකර මහත්මිය උළෙල අධීක්ෂණය කරයි. "අපට අවශ්‍ය වන්නේ නව, අභියෝගාත්මක සහ නවෝත්පාදන යමක් කිරීමටයි. මෙරට ලේඛක ලේඛිකාවන්ගේ නව පරම්පරාවක් දිරිමත් කිරීමට සහ නව යමක් කිරීමට ශ්‍රී ලාංකේය නිර්මාණකරණය සවිබල ගැන්වීමට මෙමගින් අප උත්සාහ කරනවා." ගල්කිස්ස හෝටලයේ සාහිත්‍යමය ඉතිහාසය සැමරීමේ ඇති වැදගත්කම පිළිබඳ අදහස් පල කරමින් ඇය ප්‍රකාශ කළාය.

    "Captain Corelli's Mandolin" කෘතිය සඳහා 1994 වසරේදී පොදු රාජ්‍ය මණ්ඩලීය ලේඛක සම්මානය ද හිමි කර ගත් ජාත්‍යන්තර කීර්තියට පත් ලේඛකයෙකුවන ලුවිස් දි බර්නියර්ස් මෙම උළෙලේදී සිය නවතම නවකතාවවන "The Dust That Falls From Dreams" කෘතිය පිළිබඳ හැඳින්වීමක් සිදු කිරීමට නියමිතය. පළමු ලෝක යුද සමය අලලා ඔහු විසින් රචිත තුන් ඈඳුතු නවකතාවක පළමු කොටස අවසන් වන්නේ ශ්‍රී ලංකාවේදීය. ලුවිස් මහතා හට ශ්‍රී ලංකාව සමග සුවිශේෂී සබඳතාවක් ඇති අතර ගල්කිස්ස හෝටලයේදී ඔහු ඒ පිළිබඳ තතු ද හෙළි කිරීමට නියමිතය.
    ප්‍රමුඛ පෙළේ වාර්තා වැඩසටහන් රැසක් නිෂ්පාදනය කරමින් සම්මාන ගණනාවක හිමිකම් කියූ රූපවාහිනී නිෂ්පාදකවරයෙකුවන පීටර් ග්රිම්ස්ඩේල් මහතා ද, ශ්‍රී ලාංකේය පසුබිමක් තුළ රචිත සිය නවත ම නවකතාවවන "Perfect Night" නවකතාව පිළිබඳ විග්‍රහයක් සිදුකිරීමට නියමිත අතර, තමන් දිවයින තුළ සිදු කළ සංචාරය සිය නවකතාව සඳහා පිටිවහලක් වූ ආකාරය ද පැහැදිලි කරනු ඇත.

    'Confessions of a Bad Mother', 'Confessions of a Failed Grown-Up', 'How Not to Murder Your Husband', 'Dressing for Breakfast' සහ 'Gentlemen Prefer My Sister' ඇතුළු කෘති හයක් රචනා කර ඇති ලේඛිකාවක මෙන්ම විකාශන ශිල්පිනියක ද වන ස්ටෙෆනි කාමන් මහත්මිය ද උළෙල සඳහා සහභාගී වෙයි.

    ශ්‍රී ලාංකේය පියෙකුට සහ බුරුම මවකට දාව උපන් රෝහන් කන්දප්පා මහතා, ලන්ඩනයට සංක්‍රමණය වූ ප්‍රකට ලේඛකයෙකුවන අතර එක්සත් රාජධානියේ වඩාත් සාර්ථකම උපහාසාත්මක ලේඛකයෙකි. කෘති 16 කට හිමිකම් කියන ඔහු, තමන් දකුණු ලන්ඩනයේ හැදී වැඩුණු ආකාරය පිළිබඳවත්, බ්‍රිතාන්‍යයේදී හමුවන ශ්‍රී ලාංකේය ව්‍යංජන (Curry) පිළිබඳවත් උපහාසාත්මකව දක්වමින් කීර්තිමත් "Picklehead" කෘතිය රචනා කර ඇත. ''Rules Britannia, the 101 essential questions on Britishness answered" යනු ඔහුගේ නවතම කෘතියයි.

    "පෙර නොවූ විරූ ආකාරයේ යමක් කිරීම අපගේ උත්සාහයයි. ලුවිස්ගේ නවකතාවට ශ්‍රී ලංකාව පාදක වනවා. පීටර් ග්‍රීම්ස්ඩේල් 1984 වසරේදී මෙරට තුළ සිටි අතර, ඔහුගේ දිනපොත ඔහුගේ නවකතාවට පාදක කර ගත්තා. මයිකල් ඔන්ඩච්චිගේ "Running in the Family" කෘතියට විශේෂයෙන් ප්‍රිය කරන ස්ටෙෆනි, ගල්කිස්ස හෝටලය පිළිබඳ විශේෂ සටහනක් තැබීමට නියමිතයි. ගල්කිස්ස හෝටලයේ මහා සැමරුම් උළෙල නිමිත්තෙන් රොහාන් විසින් 'quintessentially British' නමින් විශේෂ ඉදිරිපත් කිරීමක් සිදු කරනු ඇති." ශෙවන්ති සඳහන් කළාය.

    දින දෙකක් පුරා පැවැත්වෙන උළෙලේදී, අධිරාජ්‍ය පාලන සමයේ ජීවමාන සාක්ෂ්‍ය රැගත් ගල්කිස්ස හෝටලයේ රමණිය ගොඩනැගිලි පරිශ්‍රය පිළිබඳ සෞන්දර්යාත්මක ගවේෂණයක් සිදු කෙරේ.

    "සංචාරක ක්ෂේත්‍රයේ වැදගත් පාර්ශ්වකරුවෙකු ලෙස, ජාත්‍යන්තර ලේඛක ලේඛිකාවන් සහ අප අතර ඇති සවිමත් සබඳතාව විදහා දැක්වීමට අමතරව, විවිධ අංශවල අමුත්තන් රැසක් සම්බන්ධ කර ගැනීමට ද ගල්කිස්ස හෝටලයට මෙම උළෙල මහෝපකාරීවනු ඇති බව අපගේ විශ්වාසයයි." ගල්කිස්ස හෝටලයේ ව්‍යාපාර සංවර්ධන සහ සංස්ථාපිත සන්නිවේදන සමූහ අධ්‍යක්ෂිකා ලක්මිණි රේමන්ඩ් මහත්මිය සඳහන් කළාය.

    "Mount Lavinia, the Governor's Palace" කෘතියේ දෙවන සංස්කරණය ජනගත කිරීම 210වන සංවත්සර සැමරුමේ ප්‍රධාන අංගයකි.
    ගල්කිස්ස හෝටලයේ ප්‍රෞඩ ඉතිහාසය විදහා දක්වමින් පැවැත්වෙන මෙම උළෙල බාල-මහලු පාඨක සැමට එක සේ සම්බන්ධ විය හැකි සුවිශේෂී අවස්ථාවකි. "අපට අවශ්‍ය වන්නේ අපූර්ව යමක් සිදු කිරීමටයි. සෑම දෙනාම නැවුම් යමක් කිරීම සඳහා ඉතා උද්යෝගයෙන් පසුවන අතර, කලා නිර්මාණයක් මෙන් හෝටලයේ ඓතිහාසික පසුබිම රසවිඳීමට හැකි ලෙස මෙම උළෙල සංවිධානය කිරීම සඳහා කාර්යමණ්ඩලයේ සෑම දෙනාම යුහුසුළුව කටයුතු කරනවා." ශෙවන්ති මහත්මිය අවසන් වශයෙන් සඳහන් කළාය.