නව සමාගම් ලියාපදිංචි ගාස්තු ව්‍යවසායකයන්ට දැරිය නොහැකියි – FCCISL සභාපති කියයි

    February, 18, 2016

    නව රජයේ පසුගිය අයවැය තුළින් සංශෝධනය කළ සමාගම් ලියාපදිංචි ගාස්තු අය කිරීම නව ව්‍යවසායකයන්ට දැරිය නොහැකි බවත්, මෙරට පාලනාධිකාරිය ඒ පිළිබද සිය අවධානය යොමු නොකළහොත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකයන් දැඩි අපහසුතාවයකට පත්වන බවත් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ (FCCISL) සභාපති සරත් කහපොලආරච්චි මහතා පවසයි. මේ බව සඳහන් කරමින් ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයේ සභාපතිවරයා මුදල් අමාත්‍ය රවී කරුණානායක හා කර්මාන්ත අමාත්‍ය රිෂාද් බදුර්දීන් මහත්වරුන් වෙත ලිපි යොමු කරමින් ඒ සදහා රජයේ නිසි අවධානයක් යොමු කර කටයුතු කරමින් සාධාරණයක් ඉටු කිරීම සදහා මැදිහත් වන ලෙස ඉල්ලා සිටී.

    “මෙරට ජාතික ආර්ථිකය වඩාත් වැඩි දායකත්වයක් ලබා දෙනුයේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්. වර්තමානයේ දැවැන්ත සමාගම් බවට පත්වූ බොහාමයක් ආයතනයන්හි ආරම්භක තත්ත්වය සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය හා ක්ෂුද්‍ර මූල්‍ය ව්‍යවසායකත්වයයි. එවැනි පහළ මට්ටමකින් ව්‍යාපාරික කටයුතු පටන් ගන්නා ව්‍යාපාරික ප්‍රජාව සදහා නව ගාස්තු අය කිරීම දැරිය නොහැක. අද පවතින විරැකියාව හේතු කොට විශාල විශාල පිරිසක් ව්‍යවසායකත්වය කෙරෙහි යොමුවීමේ ප්‍රවණතාවයක් පවතිනවා. ශක්තිමත් ව්‍යාපාරයක් බිහිවීමේ ආරම්භක අවස්ථාව වන ව්‍යාපාර ලියාපදිංචිය සදහා විශාල මුදල් ප්‍රමාණයක් වැය කිරීම කිසිසේත්ම සාධාරණයක් නෑ. රජයේ කටයුතු සදහා මුදල් අවශ්‍ය වුව ද මෙවැනි දේ තුළින් එවැනි මූල්‍ය ඉලක්ක සපුරා ගැනීමට යොමු වීම මෙරට නව ව්‍යවසායකත්ව අවස්ථා අඩු වීම කෙරෙහි බලපාන ප්‍රධාන සාධකයක් වේ. “

    “ශ්‍රී ලංකා වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය මෙරට විශාලතම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව නියෝජනය කරන විශාලතම ආයතනයයි. මෙම නව ව්‍යාපාර ලියාපදිංචි ගාස්තු වැඩි කිරීම පිළිබද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායක ප්‍රජාව වෙතින් වානිජ මණ්ඩල සම්මේලනය වෙත දෛනිකව ලිපි මගින් හා දුරකතන ඇමතුම් මගින් විමසා සිටින අතර පවතින තත්ත්වය දැරිය නොහැකි බව සදහන් කර සිටින අතර මෙම හේතුව පදනම් කරගෙන නව ව්‍යවසායක ක්ෂේත්‍රය තුළ මන්දගාමී තත්ත්වයක් උද්ගතව ඇති බව ප්‍රකාශ කර සිටී. මේ පිළිබද අදාල අමාත්‍යවරුන්ගේ අවධානය යොමුවී මෙරට නව ව්‍යවසායකයන් උදෙසා සාධාරණයක් ඉටු වෙතැයි වානිජ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනය අපේක්ෂා කර සිටී.“