සහන මිලට තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර – මුදල් අැමති කියයි

    February, 25, 2016

    ශ්‍රී ලංකාවට සහන මිලක් යටතේ තෙල් ලබා ගැනීම සම්බන්ධයෙන් කළ ඉල්ලීමට ඉරාන රජයෙන් යහපත් ප්‍රතිචාර හිමි වූ බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රකාශ කරයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මේ සම්බන්ධයෙන් ඉදිරියේ දී දෙරට අතර සාකච්ඡා පවත්වන බවයි.

    දිවයිනට පැමිණි සිටින ඉරාන බලශක්ති අමාත්‍යHamid Chitchian මැතිතුමා ඇතුළු දූත පිරිස සමග ඊයේ (24) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව කියා සිටියේ ය. මෙම සාකච්ඡාව මුදල් අමාත්‍යාංශයේ දී පැවැත්විණි. දෙරට අතර වෙළෙඳ කටයුතු ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණි. ඉකුත් සමයේ ඉරාන රජයෙන් ශ්‍රී ලංකාවට ලබා දුන් සහය සිහිපත් කළ රවී කරුණානායක මහතා ඒ සම්බන්ධයෙන් ඉරාන රජයට ප්‍රසාදය පළ කළේ ය. ශ්‍රී ලංකාව අලුත් ගමනක් අරඹා ඇති බැවින් ඊට ඉරාන රජයේ සහය ද අපේක්ෂා කරන බව හෙතෙම කියා සිටියේ ය. මෙම සාකච්ඡාවේ දී ශ්‍රී ලංකාවට සහන මිලකට තෙල් ලබා දෙන ලෙස කරුණානායක මහතා ඉරාන රජයෙන් ඉල්ලීමක් කළ අතර, ඒ සඳහා යහපත් ප්‍රතිචාර ලැබී තිබේ.

    ­සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා -

    “පසුගිය සමයේ යම් යම් සිදුවීම් සමග ඇණහිට තිබුණ වෙළෙඳ සබඳතා යළි ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් අපි මෙහි දී සාකච්ඡා කළා. විශේෂයෙන් අන්තර් වෙළෙඳ කටයුතු පිළිබඳ අවධානය යොමු කෙරුණා. අපේ තේ, මිල දී ගන්නව වගේ ම, ඉරාන තෙල් සහන මිලට ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කෙරුණා. ඉරාන රජයෙන් ඊට සුබවාදී ප්‍රතිචාර තමයි හිමි වුණේ.”යැයි අමාත්‍යවරයා පැවැසීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉරාන තානාපති Mohammed Zaeri Amirani මැතිතුමා, මුදල් අමාත්‍යාංශ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග මහතා ඇතුළු පිරිසක් ද එක් ව සිටියහ.