සීනි ආනයන වියදමේ දැවැන්ත වැඩිවීමක්

    July, 10, 2023

    ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2023 වසරේ දී මෙතෙක් දරා ඇති වියදම විශාල වශයෙන් වැඩි වී ඇති බව නවතම සංඛ්‍යාලේඛන පෙන්වා දේ.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මෑතක දී ප්‍රකාශයට පත් කරන ලද විදේශීය අංශ ක්‍රියාකාරීත්ව වාර්තාවට අනුව 2023 මැයි මාසයේ දී මෙරටට සීනි හා රසකැවිලි ආනයනය සඳහා දරා ඇති වියදම ඩොලර් මිලියන 59.8 කි. මෙය 2022 වසරේ මැයි මාසයේ සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් කර ඇති ඩොලර් මිලියන 12.8ක වියදම හා සැසඳීමේ දී 367.7% ක වර්ධනයක් වේ.

    මේ අතර 2023 ජනවාරි සිට මැයි දක්වා මාස 05ක කාලපරිච්ඡේදය තුළ දී සිනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් ඩොලර් මිලියන 220.5 ක විදයමක් දැරීමට සිදුව ඇති බව අදාළ වාර්තාව වැඩිදුරටත් පෙන්වා දේ. එය 2022 වසරේ මුල් මාස 05 සීනි හා රසකැවිලි ආනයන වියදම වූ ඩොලර් මිලියන 98.6 ට වඩා 123.7% ක ක වැඩි වීමකි.

    ශ්‍රී ලංකාවට සීනි හා රසකැවිලි ආනයනය වෙනුවෙන් 2022 වසරේ දී දරා ඇති සමස්ත වියදම ඩොලර් මිලියන 257.8 ක් වන අතර එය 2021 වසරේ දී වාර්තා වන්නේ ඩොලර් මිලියන 288.8 ක් වශයෙනි. 2020 දී එම වියදම  ඩොලර් මිලියන 277.1 ක් ලෙසින් වාර්තා වී තිබේ.