July, 14, 2023
ශ්රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා බැඳීම් සහ නව ප්‍රවණතාවයන්” මැයෙන් නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 ජුනි 26 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැලැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් ඩබ්ලිව් එස් සත්යානන්ද මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ සභාපති ආර් එච් රුවිනිස් සහ නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය නියෝජනය කරමින් හාර්ඩි ජමල්දීන් යන මහත්වරු ද සභාව ඇමතූ අතර සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති සරණ කරුණාරත්න මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය. මෙම අවස්ථාවට නිශ්චල දේපළ වෙළෙඳාමේ නියැලෙන්නන් සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව, කොළඹ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය, ශ්‍රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමය, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන් ද ඇතුළුව 120 කට අධික පිරිසක් සහභාගී වූහ.
පිරිස අමතමින් ආචාර්ය වීරසිංහ මහතා නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ වැදගත්කම අවධාරණය කළ අතර, එම අංශය තුළ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් අවම කර ගැනීමට හැකි වන බවද එමගින් ඒ සම්බන්ධ ජාත්‍යන්තර නිර්දේශ, පාලනයන් සහ දූෂණ විරෝධී රාමුව යටතේ ඇති වගකීම් ඉටු කිරීමට හැකියාව ඇති බවත් අවධාරණය කළේය. එවැනි ප්‍රයත්නයන් මගින් රටේ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව තවදුරටත් ශක්තිමත් වන බව ප්‍රකාශ කළ ඔහු, මෙම ජාතික ප්‍රයත්නය සඳහා මූල්‍ය බුද්ධි ඒකකය සහ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය සමඟ සමීපව කටයුතු කරන ලෙස නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය.
පසුගිය දශක දෙකක කාලය තුළ ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ඉල්ලුම සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බවත් මෑත කාලයේ නිවාස හා දේපළ ඉල්ලුමේ ඇති වූ සුළු පසුබෑම ඉදිරි වසර කීපය ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත් වනු ඇති බවත් සත්‍යානන්ද මහතා සිය දේශනයේදී ප්‍රකාශ කළේය. ඒ අනුව, නිශ්චල දේපළ අංශය සඳහා නියාමන රාමුවක් හඳුන්වා දීමෙන් මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අවශ්‍යතා වඩාත් හොඳින් ක්‍රියාත්මක කිරීමට සහය වනු ඇති අතර එමඟින් එම අංශය අවදානම් සහගත වීමට ඇති හැකියාව අවම කර ගැනීමටත්, ආයෝජක විශ්වාසය වැඩි දියුණු කිරීමේ හැකියාව මගින් දේපළ වෙළෙඳාම් අංශයට සෘජු විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීමටත් හැකියාව ලැබෙනු ඇත.
නිශ්චල දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය සඳහා නියාමන රාමුවක් හඳුන්වාදීමේ අපේක්ෂිත ප්‍රතිඵලය වනුයේ රට තුළ තිරසාර සංවර්ධනය සහ සෞභාග්‍යය ළඟා කර ගැනීමට දායකවීමෙහිලා හේතු වන වගවීම සහ විනිවිදභාවය පිළිඹිබු වන සංස්කෘතියක් ප්‍රවර්ධනය කිරීම හා සහතික කිරීම බව ඉංජිනේරු රුවිනිස් මහතා සිය කතාවේදී සඳහන් කළේය.
නිශ්චල දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය නියෝජනය කරමින් ජමල්දීන් මහතා රැස්ව සිටි පිරිස අමතමින් ශ්‍රී ලාංකේය නිශ්චල දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය කාලයාගේ ඇවෑමෙන් ඉතා වැදගත් ස්ථානයක සිටින බවත්, කර්මාන්තය තුළ ලෝක මට්ටමේ අනුකූලතා සංස්කෘතියක් ස්ථාපිත කිරීමට සහ ආයෝජකයින් සඳහා නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය කැපී පෙනෙන ගමනාන්තයක් ලෙස ගොඩනැගීමට සුදුසුම කාලය මෙය බවත් අවධාරණය කළේය. ඊට අමතරව නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය අනෙකුත් රටවල මෙන් එක් නියාමන අධිකාරියක් යටතේ නියාමනය කල යුතු බවට ඉල්ලා සිටිය යුතු බව ද ඔහු අවධාරණය කළේය.
මූල්‍ය බුද්ධි ඒකකයේ අතිරේක අධ්‍යක්ෂ ආචාර්ය අයේෂ් ආරියසිංහ මහතා සහ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් ඉංජිනේරු සවින්ද්‍ර අමරසේකර මහතා විසින් තාක්ෂණික සැසි පවත්වන ලදී.
අමරසේකර මහතා, 2014 අංක 33 දරන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන පනත යටතේ දැනට පවතින නෛතික රාමුව සහ ඒ යටතේ අදාළ නීති සම්පාදනය පිළිබඳව පැහැදිලි කළේය. ඉදිකිරීම් ක්‍ෂේත්‍රයට සහභාගිවන්නන් ලියාපදිංචි කිරීමේදී ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය මුහුණ දෙන ගැටළු සහ සමස්තයක් ලෙස නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය සඳහා නියාමන රාමුවක් හඳුන්වාදීමේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද ඔහු පැහැදිලි කළේය. නිශ්චල දේපළ සහ ඉදිකිරීම් සංවර්ධන අංශයේ නිරතවන්නන්, දැනටමත් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි කිරීමට අවශ්‍ය ලැයිස්තු පවත්වාගෙන යන බව ඔහු විස්තර කළ අතර කර්මාන්ත සංවර්ධන අධිකාරියේ නීතිය යටතේ ලබා දී ඇති වාසි ලබා ගැනීම සඳහා මෙම රාමුව භාවිතා කරන ලෙස අදාළ පාර්ශවකරුවන්ට ආරාධනා කළේය. වත්මන් තත්ත්වය හේතුවෙන් ලියාපදිංචිය සඳහා වන අනිවාර්ය කාර්ය මණ්ඩල අවශ්‍යතාවය වැනි ලිහිල් කිරීම් මෑතකාලීනව කර්මාන්ත සංවර්ධන අධිකාරිය විසින් සිදු කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් ඇති, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් යටතට නිශ්චල දේපළ වෙළෙඳාම් අයත් වන බවට ආචාර්ය ආරියසිංහ මහතා සිය ඉදිරිපත් කිරීමේ දී පැහැදිලි කළේය. තවද, 2021/22 හි සිදු කරන ලද මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් තක්සේරුව මගින් දේපළ වෙළෙඳාම් අංශයේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් මට්ටම ඉහළ- මධ්‍යම ලෙස තහවුරු කර ඇති අතර එය එම අංශයේ ඉහළ-මධ්‍යම තර්ජන මට්ටම සහ මධ්‍යම මට්ටමේ අවදානම් සහගත වීමට ඇති හැකියාව යන අංගයන්ගේ එකතුවකි. ඔහු තවදුරටත් අදහස් දක්වමින් මූල්‍ය බුද්ධි ඒකකය විසින් ලියාපදිංචි නිශ්චල දේපළ වෙළෙඳාම් ආයතන සඳහා 2018 සිට අනුගමනය කරන ලද මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්‍ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන්, 2014 දී නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ ඉහළ-මධ්‍යම මට්ටමේ පැවති අවදානම් ඇතිවීමේ හැකියාව මධ්‍යම මට්ටම දක්වා පැමිණීමට හේතු වී ඇති බව ප්‍රකාශ කළේය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන විස්තර කරමින් ඔහු අවධාරණය කර සිටියේ, තම ගනුදෙනුකරුවන් වෙනුවෙන් නිශ්චල දේපළ මිලදී ගැනීම සහ විකිණීමට අදාළ ගනුදෙනුවලට සම්බන්ධ වන නිශ්චල දේපළ නියෝජිතයින් මූල්‍ය බුද්ධි ඒකකයේ අධීක්ෂණයට යටත්වන බවය. තවද, නීතිඥවරුන්, නොතාරිස්වරුන්, වෙනත් ස්වාධීන නීති වෘත්තිකයන් සහ ගණකාධිකාරීවරුන් නිශ්චල දේපළ මිලදී ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ ගනුදෙනුකරුවන් වෙනුවෙන් ගනුදෙනු සඳහා සූදානම් වන විට හෝ සිදු කරනු ලබන විට, මූල්‍ය බුද්ධි ඒකකයේ අධීක්ෂණයට යටත් වේ. නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ ආයතන තුල මනා දැනුමක් සහිත අනුකූලතා නිලධාරීන් සිටීමේ අවශ්‍යතාවයක් ඇති බවද ඔහු අවධාරණය කළේය. ආචාර්ය ආරියසිංහ මහතා සඳහන් කළේ සමස්ත මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ තක්සේරුවෙන්, ක්ෂේත්‍රයේ දැනුවත්භාවය අඩු මට්ටමක පැවතීම පෙන්නුම් කරන බවය. මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් වලට අනුකූල වීමේ වැදගත්කම, විශේෂයෙන්ම සැක කටයුතු ගනුදෙනු වාර්තා ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද ඔහු තවදුරටත් අවධාරණය කළේය. 2025 මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මීළඟ අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දීමට නිශ්චල දේපළ වෙළෙඳාම් පාර්ශවකරුවන්ට සූදානම් වන ලෙස ඔහු දැනුම් දෙන ලදී.
සාකච්ඡා සැසිය අතරතුර ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි වීම අනිවාර්ය කර, එය නාගරික සංවර්ධන අධිකාරියෙන් හෝ පළාත් පාලන ආයතන වලින් සංවර්ධන බලපත්‍ර නිකුත් කිරීමට පෙර ඉල්ලා සිටින ලෙස දේශනයට සහභාගී වූ පිරිස් විසින් යෝජනාවක් ඉදිරිපත් කරන ලදී. තවද, මෙම ක්ෂේත්‍රය තුල වඩා විනිවිදභාවයක් සහ සම මට්ටමේ තරඟකාරීත්වයක් ඇති කිරීම තුලින් ක්ෂේත්‍රය තුල වෘත්තීයභාවය ඉහල නංවා ගැනීම සඳහා දේපළ වෙළෙඳාම් ගනුදෙනුවල නිරත තැරැව්කරුවන් ලියාපදිංචි කරන ලෙසද ඉල්ලීමක් සිදුකරන ලදී.
නිශ්චල දේපළ වෙළෙඳාමේ නිරතවන්නන් නියාමන අවශ්‍යතා ග්‍රහණය කර ගැනීමට සහ ඒවාට අනුකූල වීමට උත්සහ කරමින් සිටින බවත්, අධීක්‍ෂණයන් වැඩි කිරීම තුලින් ඔවුන්ගේ අනුකූලතා මට්ටම ඉහළ නැංවීමට සහාය වීමට මුල්‍ය බුද්ධි ඒකකය සැලසුම් කරමින් සිටින බවත් අවධාරණය කරන ලදී. පසුගිය වසර කීපය තුළ දේපළ වෙළෙඳාම් ආයතන විසින් ඉදිරිපත් කර ඇති සැක සහිත ගනුදෙනු වාර්තා ප්‍රමාණය ඉතා අවම අගයක් ගන්නා බවට මුල්‍ය බුද්ධි ඒකකය තහවුරු කළේය. තවද, දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ නියැලී සිටින ආයතන ලියාපදිංචි කිරීම සඳහා නියාමන ආයතනයක් පිහිටුවීමට මුල්‍ය බුද්ධි ඒකකය රජයට කරුණු දක්වමින් සිටින අතර එමඟින් ඔවුන්ගේ ක්‍රියාකාරකම් වඩාත් ඵලදායී ලෙස නිරීක්ෂණය කළ හැකි බව සඳහන් කරන ලදී. නිශ්චල දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය නියාමනය කිරීමේ අවශ්‍යතාවය ඉහළ ප්‍රමුඛතාවයක් ලෙස සියලුම පාර්ශ්වකරුවන් විසින් පිළිගෙන ඇති අතර ඒ සඳහාම වෙන්වූ නියාමන අධිකාරියක් ස්ථාපිත කරන තෙක් දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ යෙදී සිටින ආයතන ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය යටතේ ලියාපදිංචි කිරීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරේ. මෙය සැබැවින්ම නිශ්චල දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ නිරතවන්නන් හට සාධාරණ ලෙස පිළිගත හැකි පියවරකි. නිශ්චල දේපළ වෙළෙඳාම් අංශය අනෙකුත් වාර්තාකරණ ආයතන සමඟ සම තත්ත්වයට ගෙන ඒම සඳහා, එම අංශය සඳහා සිදුකරනු ලබන අධීක්‍ෂණයන් වැඩි කිරීම තුලින් ප්‍රයෝගික මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.
නිර්දේශයන්
නිශ්චල දේපළ වෙළෙඳාම් අංශයේ අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීම උදෙසා පහත සඳහන් නිර්දේශයන් බැරෑරුම් ලෙස සලකා බලන ලෙස එම අංශ නියාමන අධිකාරීන් විසින් නිශ්චල දේපළ වෙළෙඳාම් ව්‍යාපාරයේ නියැලී සිටින ආයතනවලින් ඉල්ලා සිටී:
වමේ සිට දකුණට අසුන්ගෙන: බ්රහ්මණගේ ප්රේමලාල් මහතා (ශ්රී ලංකා සහාධිපත්‍ය සංවර්ධකයින්ගේ සංගමයෙහි සභාපති), ඉංජිනේරු ආර් එච් රුවිනිස් මහතා (සභාපති, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය), ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති/ සභාපති, මුදල් විශුද්ධිකරණය වැලැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව), ඩබ්ලිව් එස් සත්යානන්ද මහතා (ලේකම්, නාගරික සංවර්ධන හා නිවාස අමාත්යාංශය), සරණ කරුණාරත්න මහතා (සභාපති, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය), කේ එම් ඒ එන් දවුලගල මහත්මිය (ශ්රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති).
වමේ සිට දකුණට සිටගෙන: ඉංජිනේරු සවින්ද්‍ර අමරසේකර මහතා (අධ්‍යක්ෂ ජනරාල්, ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය), ආචාර්ය අයේෂ් ආරියසිංහ මහතා (අතිරේක අධ්‍යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), එනෝකා මොහොට්ටි මහත්මිය (අධ්‍යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), ආචාර්ය සුභානි කීර්තිරත්න මහත්මිය (අතිරේක අධ්‍යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), චන්දිම බණ්ඩාර මහතා (ජ්‍යෙෂ්ඨ සහකාර අධ්‍යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය).
Video Story