February, 26, 2016
දැනට පවතින මට්ටම් හි පොළී අනුපාතික ස්ථාවරව පවත්වා ගෙන යාමට මහ බැංකුව කටයුතු කරන බව මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා කියා සිටී. පසුගිය සතියේ දී ප්‍රකාශයට පත් කරන ලද නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය හා නිතණ ණය පහසුකම් අනුපාතිකය පදනම් අංක 50 බැගින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් මහ බැංකු අධිපතිවරයා මෙසේ කියා සිටියේය. “පොළී අනුපාතික පවතින මට්ටමේ තබා ගැනීමට අප විශාල පරිශ්‍රමයක් දරනවා. ගෝලීය වශයෙන් ඇති වී තිබෙන ආර්ථික තත්ත්වය තුළ ඇමරිකා එක්සත් ජනපදය, මැදපෙරදිග ඇතුළු බොහෝ රටවල පොළී අනුපාතික ඉහළ යාමක් සිදුවී තිබෙනවා. අප වැනි වර්ධනය වෙමින් පවතින වෙළෙඳපොළකට එයින් සිදුවන බලපෑම ඉහළයි.“
වාණිජ බැංකු විසින් පුද්ගලික අංශය වෙත ණය ලබා දීම් පසුගිය කාලයේ දී විශාල වශයෙන් ඉහළ ගොස් තිබෙන බවත් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය ඉහළ නැංවීම තුළින් මෙම තත්ත්වය පාලනය කිරීමට පියවර ගන්නා බවත්, මෙරට තුළ ණය බුබුලක් නිර්මාණය වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2016 ජනවාරි 16 වන දින සිට 7.50% දක්වා ඉහළ නැංවීමට පියවර ගත් අතර පසුගිය පෙබරවාරි 19 වන දින සිට නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 6.50% ද්කවා සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 8.00% දක්වා ඉහළ නැංවීමට පියවර ගන්නා ලදී.
Video Story