ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන් 52න් රු. බිලියන 144ක ලාභයක්

    July, 18, 2023

    දේශීය ආර්ථිකය ක්‍රමානුකූලව යථා තත්ත්වයට පත්වීමත්, මුදල් ඒකකයේ සාපේක්ෂ ස්ථාවරත්වයත් හේතුවෙන් රාජ්‍ය ව්‍යවසායන්හි කාර්යසාධනය වැඩිදියුණු වී ඇති බව, ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන් 52 විසින් 2022 වසරේ පළමු මාස හතරේ වාර්තා කළ රු. බිලියන 859 ක අලාභයට සාපේක්ෂව 2023 වසරේ සමාන කාල සීමාව තුළ රු. බිලියන 144 ක ලාභයක් වාර්තා කිරීම මගින් ගම්‍ය වේ. 2022 සහ 2023 වර්ෂවලදී සිදු කල පිරිවැය මත පදනම් වු විදුලි ගාස්තු ගැලපීම, ඉන්ධන මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීම සහ අනෙකුත් ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරීම මෙම කාර්යසාධනය ඉහළ යාමට ඉවහල් වී ඇත. 2022 මුල් භාගයේදී සැලකිය යුතු ලෙස මුදල් අවප්‍රමාණය වීම පසුගිය වසරේ ඩොලර් ණය පැවති රාජ්‍ය ව්‍යවසායන්හි පාඩු සඳහා හේතු විය. ශේෂ පත්‍ර ප්‍රතිව්‍යුහගත කිරීම මෙන්ම 2023 මුල් මාස හතර තුළ වඩාත් ස්ථාවර විනිමය තත්ත්වයක් පැවතීම නිසා 2022 වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව පාඩු අවම වී ඇත. ඛනිජ තෙල් කර්මාන්තයේ සිල්ලර වෙළඳාම සම්බන්ධයෙන් තරඟකාරීත්වයක් හඳුන්වා දීමෙන් එම කර්මාන්තය ලිහිල් කර ඇති අතර, ඉන්ධන සහ විදුලිය යන අංශ දෙක සඳහාම හඳුන්වා දී ඇති ස්වයංක්‍රීය පිරිවැය පරාවර්තක මිලකරණ ක්‍රමවේදය හේතුවෙන් බැංකු පද්ධතියට එල්ල වන අහිතකර පීඩනය සීමා වනු ඇත.

    දේශීය ආර්ථිකය තවදුරටත් ස්ථාවර කිරීමටත්, අනාගත වර්ධන විභවයන් සක්‍රීය කිරීමටත් රාජ්‍ය ව්‍යාවසායයන්හි පුළුල් ප්‍රතිසංස්කරණ අත්‍යවශ්‍ය වේ. රාජ්‍ය ව්‍යාවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීමේ අරමුණෙන් රාජ්‍ය ව්‍යාවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය පිහිටුවීම ඇතුළු ප්‍රධාන පියවර ගැනීම හරහා, ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන්හි පාලනය, තරගකාරීත්වය හා මූල්‍ය තත්ත්වය වර්ධනය කර ගැනීමට හැකි වනු ඇත-

    ලංකා විදුලිබල මණ්ඩලය, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, මාර්ග සංවර්ධන අධිකාරිය සහ ශ්‍රීලංකන් ගුවන් සමාගම යන ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන් හතරක ශේෂ පත්‍ර වැඩිදියුණු කිරීම, ප්‍රධාන රාජ්‍ය ව්‍යාවසායයන් 52 හි විගණනය කරන ලද මූල්‍ය ප්‍රකාශන ප්‍රකාශයට පත්කිරීම සහ තෝරාගත් රාජ්‍ය ව්‍යාවසායයන් සමග පැහැදිලිව හඳුනාගත් ඉලක්කයන් ඇතුළත් සාමූහික අභිලාශ ප්‍රකාශ ගිවිසුම්වලට එළඹීම මගින්‘, රාජ්‍ය මූල්‍ය මත ඇතිවිය හැකි අවදානම් අවම කර ගැනීමට අපේක්ෂා කෙරේ.

    2022 වසරේ මුල් මාස හතර තුළ එකතු කළ රු. බිලියන 11.4 ක අයභාර හා ලාභාංශ ආදායමට සාපේක්ෂව 2023 වසරේ එම කාලසීමාව තුළ රාජ්‍ය ව්‍යාවසායයන් වෙතින් ඒකාබද්ධ අරමුදලට ලද අයභාර හා ලාභාංශ ආදායම රු. බිලියන 9.6 ක් දක්වා පහත වැටී ඇත.

    2003 අංක 3 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනතේ 10 වැනි වගන්තිය යටතේ මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා විසින් නිකුත් කරන ලද, 2023 වසර මැද රාජ්‍ය මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවෙහි මේ බව සඳහන් වේ.