ටච්වුඩ් අයථා ගනුදෙනු තොරතුරු CID භාරයට

    March, 11, 2014

    මූල්‍ය අර්බුදයට පත්ව තිබෙන ටච්වුඩ් රුක් රෝපණ සමාගම පිළිබඳව සුරැකුම් පත් හා විනිමය කොමිසම විසින් සිදුකළ දැඩි පරීක්ෂණයෙන් අයථා ගනුදෙනු රැසක් සොයාගෙන තිබෙන බවත් එයට එරෙහිව මේ වනවිටත් ක්‍රියා මාර්ග ගෙන තිබෙන බවත් සුරැකුම් පත් හා විනිමය කොමිසමේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා කියයි.

    ආචාර්ය නාලක ගොඩහේවා මහතා අප සමග පැවසුවේ මෙම පරීක්ෂණයෙන් මේ වනවිට සියයට 90 ක් පමණම අවසන් කර තිබෙන බවයි.

    “කොටස් වෙළඳ පොළට දැනුම් නොදී සිදුකර තිබෙන විනිමය කොමිසමේ විෂය පථයට හසුවන ගනුදෙනු පිළිබඳව වහාම කොමිසමට දැනුම් දෙන්නැයි ටච්වුඩ් අධ්‍යක්ෂ මණ්ඩලයට මේ වනවිට අපි දැනුම් දී තිබෙනවා. මීට අමතරව, පරීක්ෂණයේදී සොයාගෙන තිබෙන සෙසු අයථා ක්‍රියාවන් පිළිබඳව පරීක්ෂණ කටයුතු කිරීම විනිමය කොමිසම විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දුන්නා.“

    “මෙම පරීක්ෂණයේදී අපට පෙනී ගොස් තිබෙන දෙයක් තමයි, මෙම සමාගමේ දේපොළ කොටස් වෙළඳ පොළට දැනුම් දීමකින් තොරව වෙනත් පුද්ගයින්ට පැවරීම, විකීණීම වැනි අයථා ක්‍රියාවන් සිදුවී තිබෙන බව. සමාගමේ දේපොළ පිළිබඳව තීරණයන් ගැනීමේදී විනිමය කොමිසමෙන් ඒ පිළිබඳව අනුමැතිය ලබාගත යුතුයැයි පැනවූ රෙගුලාසිය නිසා එම තත්ත්වය මේ වනවිට මගහැරී තිබෙනවා.“

    යනුවෙන් නාලක ගොඩහේවා මහතා පැවසීය.

    “මෙම ප්‍රශ්නයේදී සමාගමක අධ්‍යක්ෂ මණ්ඩලයක් විසින් අවබෝධ කරගත යුතු වැදගත්ම දෙය වන්නේ, සමාගමේ සෑම ක්‍රියාවකටම අධ්‍යක්ෂ මණ්ඩලය සාමූහිකව වගකිව යුතුබව. ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු වුවත් සමාගමේ ක්‍රියා මාර්ග වලට සාමූහිකව වගකිව යුතුයි.“

    යනුවෙන් විනිමය කොමිසමේ ප්‍රධානියා වැඩිදුරටත් පැවසීය.