July, 21, 2023
ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් “මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් සහ නව ප්රවණතාවයන්” යන මැයෙන් මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය දැනුම්වත් කිරීමේ වැඩසටහනක් 2023 ජූලි 04 වන දින සංවිධානය කරන ලදී. ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති/ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුවේ සභාපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අතර මෙම අවස්ථාවට කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් ජේ. ඒම්. තිලකා ජයසුන්දර මහත්මිය, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ සභාපති අජ්වාර්ඩ් ඩීන් මහතා සහ ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමයේ සභාපති යූ. ජී. චන්ද්‍රසේන මහතා ඇතුළුව මැණික් හා ස්වර්ණාභරණ කර්මාන්තයේ නියැලෙන්නන් සියයකට අධික පිරිසක් සහභාගී විය.
මැණික් හා ස්වර්ණාභරණ සහ වටිනා ලෝහ හා ගල් ආශ්රිත කර්මාන්තය ශ්‍රී ලංකා ආර්ථිකයට ප්‍රධානතම දායකත්වයක් සපයන කර්මාන්තයක් ලෙස දැක්විය හැකිය. ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳපොල වෙත වටිනා ගල් වර්ග අපනයනය කරනු ලබන නවවන විශාලතම අපනයනකරු වන අතර ලෝකයේ වටිනාම මැණික් සහිත රටවල් පහෙන් එකක් ද වේ. තවද, ශ්‍රී ලංකාව වටිනා මැණික් වර්ග ලොවට අඛණ්ඩව සපයන සැපයුම්කරුවෙකි. නමුදු, ජාත්‍යන්තර වශයෙන් සැළකු විට මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් ලෙස සැළකෙන ඇමෙරිකානු ඩොලර් බිලියන 12ක අපනයන ආදායමක් ලබන තායිලන්තය සහ ඇමෙරිකානු ඩොලර් බිලියන 30ක අපනයන ආදායමක් ලබන හොංකොං වැනි ගෝලීය පාර්ශ්වකරුවන්ගේ තත්ත්වයට සම වීමට තවමත් ශ්‍රී ලංකාව සමත්ව නැත. 2022 මහ බැංකු වාර්ෂික වාර්තාවට අනුව, ශ්‍රී ලංකාව, මැණික්, දියමන්ති සහ ස්වර්ණාභරණ අපනයනය මගින් උපයන ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 450ක් වන අතර පසුගිය වසර 5 තුළ එවන් අපනයනයන්හි වාර්ෂික සාමාන්‍යය ඇමෙරිකානු ඩොලර් මිලියන 298ක් විය.
ආචාර්ය වීරසිංහ මහතා රැස්ව සිටි පිරිස අමතමින්, මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්රය ශ්‍රී ලංකා ආර්ථිකයට දක්වන සුවිශේෂී දායකත්වය පිළිබඳව අවධාරණය කළ අතර, එම අංශය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් සාර්ථකව ක්‍රියාත්මක කිරීමෙන් මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් අවම කර ගැනීමට හැකි වන බවද එමගින් ඒ සම්බන්ධ ජාත්‍යන්තර නිර්දේශ, පාලනයන් සම්බන්ධ ප්‍රමිති සහ දූෂණ විරෝධී රාමුව යටතේ ඇති වගකීම් ඉටු කිරීමට හැකියාව ඇති බවත් අවධාරණය කළේය. එවැනි ප්රයත්නයන් මගින් රටේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රාමුව තවදුරටත් ශක්තිමත් වන බව ප්‍රකාශ කළ ඔහු, මෙම ජාතික ප්රයත්නය සඳහා මූල්‍ය බුද්ධි ඒකකය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සමඟ සහයෝගීව කටයුතු කරන ලෙස මැණික් හා ස්වර්ණාභරණ අංශයේ පාර්ශ්වකරුවන්ට ආරාධනා කළේය.
කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජයසුන්දර මහත්මිය සිය දේශනයේදී මැණික් හා ස්වර්ණාභරණ අංශය තුල මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ යාන්ත්‍රණය වැඩි දියුණු කිරීම සඳහා මූල්‍ය බුද්ධි ඒකකය සහ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් සහයෝගීව ගන්නා ලද ප්රයත්නයන් පිළිබඳව විස්තර කරන ලදී. 2025 වසරේ දී පැවැත්වීමට නියමිත අන්‍යොන්‍ය ඇගයීමට පෙර ශ්‍රී ලංකාව සම්බන්ධ මුදල් විශුද්ධිකරණය වැළැක්වීම සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම සඳහා අවධානය යොමු කළ යුතු විශේෂිත ක්ෂේත්‍ර පිළිබඳව ඇය තවදුරටත් විස්තර කරන ලදී. තවද, ජාත්‍යන්තර වෙළෙඳපොල තුල පිළිගැනීමක් ලබාගැනීම සඳහා මෙම වගකීම් වලට අනුකූල වීමේ අවශ්‍යතාවය ඇය අවධාරණය කළාය.
ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති විරාජ් ද සිල්වා මහතා සිය දේශනය අතරතුර, ඓතිහාසික වෙළඳ මාර්ග ඔස්සේ පවතින ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික භූගෝලීය පිහිටීම හේතුවෙන් අතීතයේ සිටම ඉතා පහසුවෙන් මැණික් ගල් හුවමාරු කරගන්නා ආකාරය පැහැදිළි කරන ලදී. තවද, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ රෙගුලාසි වලට අනුකූලව තම වගකීම් ඉටු කරන ලෙස ඔහු මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන්ගෙන් ඉල්ලා සිටියේය. මෙම වගකීම් ඉටු කිරීමේ දී මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ලියාපදිංචි වීමේ වැදගත්කම ඔහු විශේෂයෙන් අවධාරණය කළේය.
මූල්‍ය බුද්ධි ඒකකයේ අතිරේක අධ්යක්ෂ ආචාර්ය අයේෂ් ආරියසිංහ මහතා විසින් තාක්ෂණික සැසිය පවත්වන ලදී. 2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අනුකූලතා වගකීම් ඇති, නම් කරන ලද මූල්‍ය නොවන ව්‍යාපාර සහ වෘත්තීන් යටතට මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් අයත් වන බවට ආචාර්ය ආරියසිංහ මහතා සිය ඉදිරිපත් කිරීමේ දී පැහැදිලි කරන ලදී. තවද, 2021/2022 වසර වලදී සිදු කරන ලද මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් තක්සේරුවට අනුව මැණික් හා ස්වර්ණාභරණ අංශයේ මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම් මට්ටම සහ අවදානම් සහගත වීමට ඇති හැකියාව “මධ්‍යම” මට්ටමක් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම අංශයට අදාළව මුදල් විශුද්ධිකරණය සහ ත්රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම “මධ්‍යම” මට්ටමක් ගන්නා ලදී. ඔහු තවදුරටත් අදහස් දක්වමින්, මූල්‍ය බුද්ධි ඒකකය සමඟ ලියාපදිංචි මැණික් හා ස්වර්ණාභරණ අලෙවිකරුවන් සඳහා 2018 වසර සිට අනුගමනය කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ අධීක්ෂණ ක්‍රියාමාර්ග හේතුවෙන්, 2014 වසරේ දී මැණික් හා ස්වර්ණාභරණ අංශයේ “ඉහළ-මධ්‍යම” මට්ටමක පැවති අවදානම් මට්ටම “මධ්‍යම” මට්ටමක් දක්වා පහළට පැමිණීමට හේතු වී ඇති බව ප්‍රකාශ කරන ලදී.
මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනත යටතේ, සැක කටයුතු ගනුදෙනු වාර්තා නොපමාව ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය ද ඇතුළුව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් වලට අනුකූල වීමේ වැදගත්කම ඔහු අවධාරණය කරන ලදී. 2025 වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ මීළඟ අන්‍යෝන්‍ය ඇගයීමට මුහුණ දීමට මැණික් හා ස්වර්ණාභරණ වෙළෙදාමේ පාර්ශ්වකරුවන්ට සූදානම් වන ලෙස ඔහු තවදුරටත් දැනුම් දෙන ලදී. තවද, ඇමෙරිකානු ඩොලර් 15,000 ට සමාන හෝ ඊට වැඩි වටිනාකමක් ඇති මුදල් වලින් පමණක් සිදුවන ගනුදෙනු සඳහා ගනුදෙනුකරුවන් නිසි පරිදි හදුනාගැනීමේ ක්‍රියාපටිපාටි (Customer Due Diligence) සිදු කරන මෙන් ඔහු අංශය දැනුම්වත් කළේය.
සැසිය අවසන් කරමින්, මූල්‍ය බුද්ධි ඒකකයේ අධ්‍යක්ෂිකා එනෝකා මොහොට්ටි මහත්මිය මැණික් හා ස්වර්ණාභරණ අංශය තුළ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ වගකීම් පිළිපැදීමේ වැදගත්කම අවධාරණය කළ අතර මීළඟ අන්‍යොන්‍ය ඇගයීමේදී එය ශ්‍රී ලංකාවේ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ ප්රමිතීන් ඉහළ නැංවීමට දායක වන ආකාරය ද අවධාරණය කළාය. තවද, ආරාධිතයින්, සම්පත් දායකයින්, මූල්‍ය බුද්ධි ඒකකයේ නිලධාරීන් සහ සැසියට සහභාගිවුවන්ගේ සක්‍රීය දායකත්වයෙන් ඵලදායී සාකච්ඡාවක් සැසිය අවසානයේදී පැවැත්විණි.
නිර්දේශයන්
මැණික් හා ස්වර්ණාභරණ අංශයේ අනුකූලතා මට්ටම වැඩිදියුණු කිරීම උදෙසා පහත සඳහන් නිර්දේශයන් ප්රමුඛත්වයෙන් සලකා බලන ලෙස එම අංශ නියාමන අධිකාරීන් විසින් මැණික් හා ස්වර්ණාභරණ ව්‍යාපාරයේ නියැලී සිටින ආයතන වලින් ඉල්ලා සිටී:
ඡායාරූප විස්තරය - ඉදිරි පෙළ වමේ සිට දකුණට: මුස්ලිම් සලාහුදීන් මහතා (උප සභාපති, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය), අජ්වාර්ඩ් ඩීන් මහතා, (සභාපති, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය), ජේ. එම්. තිලකා ජයසුන්දර මහත්මිය, (ලේකම්, කර්මාන්ත අමාත්‍යාංශය), ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා (අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව / සභාපති, මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීම පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව), විරාජ් ද සිල්වා මහතා, (සභාපති, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය), එනෝකා මොහොට්ටි මහත්මිය (අධ්යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), කේ. එම්. ඒ. එන්. දවුලගල මහත්මිය (නියෝජ්‍ය අධිපති, ශ්‍රී ලංකා මහ බැංකුව).
පසු පෙළ වමේ සිට දකුණට: යූ. ජී. චන්ද්‍රසේන මහතා (සභාපති, ලංකා මැණික් අලෙවිකරුවන්ගේ සහ පතල්කරුවන්ගේ සංගමය), රිස්වාන් සහබ්දීන් මහතා (උප සභාපති, ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය), තේජා පත්බේරිය මහත්මිය, (නියෝජ්‍ය අධ්යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), ආචාර්ය අයේෂ් ආරියසිංහ මහතා (අතිරේක අධ්යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය), චන්දිම බණ්ඩාර මහතා (ජ්‍යෙෂ්ඨ සහකාර අධ්යක්ෂ, මූල්‍ය බුද්ධි ඒකකය).
Video Story