කොළඹ කොටස් හුවමාරුව රුහුණු විශ්වවිද්‍යාලය සමඟ හවුල් වෙයි

    August, 2, 2023

    සමාජය නිරීක්ෂණය කල විට පෙනී යන්නේ සියලු දෙනාටම ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ අධ්‍යාපනයත් ඉහල මූල්‍ය සාක්ෂරතාවත් අත්‍යාවශ්‍ය බවයි. ඒ එදිනෙදා ජීවිතයේදී මූල්‍ය කළමණාකරණය කර ගැනීමට  විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨය පමණක් නොව අධ්‍යන කාර්‍ය මණ්ඩලයට සහ  අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට පවා සිදුවන බැවිනි.-  උපකුලපති, රුහුණු විශ්ව විද්‍යාලය, ශ්රී ලංකාව.”

    “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින  ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්වේ.” ප්රධාන විධායක නිලධාරී - කොළඹ කොටස් හුවමාරුව.

    උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව වැඩි දියුණු කිරීම සඳහා සහයෝගීතා ප්‍රයත්නයන් විධිමත් කිරීමට කොළඹ කොටස් හුවමාරුව පසුගියදා රුහුණු විශ්ව විද්‍යාලය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කළේය.

    අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක උපායමාර්ගික මුලපිරීම් ගණනාවක් මත එක්ව වැඩකිරීමෙන් උපාධි අපේක්ෂකයින් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීමට මෙම සහයෝගීතා ගිවිසුම යෝජනා කරයි. ඒ අනුව, මෙමගින්, කොළඹ කොටස් හුවමාරුව සමඟ ගණකාධිකරණය සහ මූල්‍ය, ව්‍යාපාර කළමනාකරණය සහ ආර්ථික විද්‍යාව ආශ්‍රිත උපාධි වැඩසටහන්වල නියැලී සිටින රුහුණු විශ්ව විද්‍යාලයේ සිසුන් සඳහා ප්‍රායෝගික අධ්‍යාපනික පුහුණුව සහ සීමාවාසික අවස්ථාවන්  ලබා දෙනු ඇත.

    තවද, අවබෝධතා ගිවිසුමේ නියමයන් යටතේ, කොළඹ කොටස් හුවමාරුව  විසින් විශ්ව විද්‍යාලයේ වාණිජවේදී ගෞරව උපාධි වැඩසටහනේ ශ්‍රේණි ලකුණු සාමාන්‍යයේ ඉහළම අගය (“GPA”) ලබා ගන්නා ශිෂ්‍යයාට සම්මානයක් ලබා දෙනු ඇත.

    ඒසේම, රට පුරා සිටින ආයෝජකයින් අතර ප්‍රාග්ධන වෙළෙඳපොළ ආයෝජනය ප්‍රවර්ධනය කිරීම පිණිස කොළඹ කොටස් හුවමාරුව විසින් සංවිධානය කරනු ලබන සම්මන්ත්‍රණ සහ වැඩමුළු සඳහා, ප්‍රවිණයන් සහ සම්පත් දායකයින් ලබා දෙමින්, රුහුණු විශ්ව විද්‍යාලය, කොළඹ කොටස් හුවමාරුවෙහි දැනට ක්‍රියාත්මක අධ්‍යාපනික වැඩසටහන්, මූල්‍ය වෙළෙඳපොළ පිළිබඳ උසස් ඩිප්ලෝමාව (ADFM) මෙන්ම ඉදිරි අධ්‍යාපන ක්‍රියාකාරකම් සමඟ ද සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

    මෙම හවුල්කාරිත්වය පිළිබඳව අදහස් දක්වමින් කොළඹ කොටස් හුවමාරුවෙහි ප්‍රධාන විධායක නිලධාරී, රජීව බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කළේ, “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින  ජනගහනයේ ප්‍රධාන කොටසක් වන උපාධි අපේක්ෂකයින් අතර මූල්‍ය සාක්ෂරතාව ප්‍රවර්ධනය කිරීම ඉතා වැදගත්වේ. මෙම අරමුණ පෙරදැරි කරගෙන  , ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ තිරසාර වර්ධනය සඳහා මූල්‍ය සාක්ෂරතාවයෙන් යුත් උපාධි අපේක්ෂකයින් පිරිසක් ප්‍රවර්ධනය කිරීමේ ඵලදායී මුලපිරීම් මාලාවක් සඳහා රුහුණු විශ්වවිද්‍යාලය සමඟ හවුල් වීමට ලැබීම ගැන අපි සතුටු වෙමු” යන්නයි.

    රුහුණු විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා ද අදහස් දක්වමින්, දෙපාර්ශවයටම වැඩි අවස්ථා ගෙන ඒම සඳහා රුහුණු විශ්වවිද්‍යාලය අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධයෙන්, කොළඹ කොටස් වෙළෙඳපොළට ස්තුතිය පළ කළේය.

    ‘බොහෝ දෙනා කොටස් වෙළඳපොලේ ආයෝජනයට යොමු නොවී ඇත්තේ ප්‍රාග්ධනය හිඟ නිසා නොව ඔවුන්ට ඇති පහළ මූල්‍ය සාක්ෂරතාවය හේතුවෙනි. විශ්වවිද්‍යාල ප්‍රජාව නිරීක්ෂණය කල විට පෙනී යන්නේ සියලු දෙනාට කොටස් වෙළඳපොල පිළිබඳ අධ්‍යාපනයත්  ඉහල මූල්‍ය සාක්ෂරතාවරත් තිබිය යුතු වන්නේ කළමණාකරණ පීඨයට පමණක් නොව අධ්‍යයන සහ අනධ්‍යයන කාර්‍ය මණ්ඩලයට පවා ප්‍රායෝගිකව මූල්‍ය කළමණාකරණය කිරීම අත්‍යවශ්‍ය වන බැවිනි.”

    “ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා වෘත්තීමය කටයුතු ආචාර ධර්ම වලට අනුව පවත්වා ගැනීම අවම මට්ටමක තිබෙන පසුබිමක, මූල්‍ය සාක්ෂරතාවය ඉහල නැංවීමෙන්, ශිෂ්‍යයින් ව්‍යාපාර හා වෘත්තීමය පැතිකඩ ආචාර ධර්ම වලට අනුකූල වෙමින් පවත්වා ගෙන යෑමේ වැඩි ඉඩ කඩක් ඇත.”

    තවද සියලු අධ්‍යයන පීඨ වල කොටස් වෙළඳපොල සංගම් පිහිටුවීමට කටයුතු කරන ලෙස උපකුලපති මහාචාර්‍යවරයා විසින් යෝජනා කරන ලදි.

    වැඩි විස්තර සඳහා කරුණාකර CSE වෙබ් අඩවියට (www.cse.lk) පිවිසෙන්න.

    (L-R) CSE ප්රධාන විධායක නිලධාරී රජීව බණ්ඩාරනායක මහතා සහ ශ්රී ලංකා රුහුණු විශ්වවිද්යාලය, උපකුලපති ජ්යෙෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා