මහ බැංකුව ජූලි මාසයේ දී ඩොලර් විකුණයි

    August, 14, 2023

    2023 ජූලි මාසයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 41.5 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කළ බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ජූලි මාසය තුළ ඩොලර් මිලියන 29 ක ප්‍රමාණයක් මහ බැංකුව මිල දී ගෙන ඇති අතර ඒ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 12.5 ක ප්‍රමාණයක් පසුගිය මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත.

    2023 මාර්තු මාසයෙන් පසු මහ බැංකුව විසින් දෙවැනි වරට ඩොලර් විකිණීමක් සිදුකළ මාසය බවට ජූලි මාසය මේ අනුව හැඳින්විය හැකිය. 2023 අප්‍රේල් සහ මැයි මාසවල දී කිසිදු ඩොලර් අලෙවියක් මහ බැංකුව සිදුකර නොතිබිණි.

    පසුගිය ජූනි මාසය තුළ දී ඩොලර් මිලියන 91 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළේ දී විකුණා දැමූ බව ශ්‍රී ලංකා මහ බැංකුව මීට පෙර සඳහන් කර තිබුණි. ජූනි මාසය තුළ මහ බැංකුව මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය ඩොලර් මිලියන 77.5 කි. මේ අනුව ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 13.5 ක් 2023 ජූනි මාසය තුළ දී මහ බැංකුව විකුණා ඇත.

    2023 මුල් මාස 03 තුළ දී මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ ඩොලර් අලෙවි කළ ප්‍රමාණයන් පහතින් දැක්වේ.

    2023 ජනවාරි - ඩොලර් මිලියන 137.64

    2023 පෙබරවාරි - ඩොලර් මිලියන 33.44

    2023 මාර්තු - ඩොලර් මිලියන 55.09

    සමස්තයක් වශයෙන් 2023 මුල් මාස 07 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 2,004.04 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 358.67 ක් අලෙවි කර ඇත.