ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

    August, 24, 2023

    දිල්ලි බලා පියාසර කළ UL 195 දරන ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයේ නිවේදනය

    කොළඹ සිට දිල්ලි බලා පියාසර කළ, ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් UL 195 දරන ගුවන් යානය ඊයේ (2023 අගෝස්තු 23) ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි ගුවන් තොටුපළ වෙත හදිසි ගොඩබැස්වීමක් සිදුකළ බවට පළවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බවත්, එම ගුවන් යානය තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් නොකළ බවත් ශ්‍රීලංකන් ගුවන් සේවය අවධාරණය කරයි. කෙසේ නමුත් එම ගුවන් යානයේ හයිඩ්‍රොලික් පද්ධතියක සුළු දෝෂයක් හටගෙන තිබිණි. එවැනි සිදුවීම් කලින් කලට වාර්තා වීම සාමාන්‍ය තත්ත්වයක් වන අතර, එහිදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ගුවන් යානා කාර්ය මණ්ඩල පූර්ණ වශයෙන් පුහුණුව ලබා ඇත. මෙවැනි අවස්ථාවකදී සාමාන්‍යයෙන් අනුගමනය කරන ආරක්ෂක පියවරක් වශයෙන්, UL 195 ගුවන් යානයේ නියමුවන් විසින් යානය ගොඩබැස්වීම සඳහා වඩාත් දීර්ඝ ධාවන පථයක් ඉල්ලා සිටින ලදි. යානය ගොඩබැස්වීම කිසිදු ගැටලුවක් තොරව සුරක්ෂිත ලෙස සිදු වූ අතර, එය නඩත්තු කටයුතු සඳහා ගුවන් තොටුපළේ නඩත්තු ස්ථානය වෙත රැගෙන යන ලදි. නියමිත වේලාවට පෙර දිල්ලි නගරය වෙත ළඟා වූ UL 195 ගුවන් යානයේ මගීන් සියලුම දෙනා ආරක්‍ෂිත ලෙස ඉන් පිට වූ අතර, ඔවුන්ගේ ගමනට කිසිදු බාධාවක් ඇති නොවී ය. ශ්‍රීලංකන් ගුවන් සේවය කවදත් සිය මගීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාවට ප්‍රමුඛත්වය ලබාදෙයි. ඒ අනුව, මගීන්ගේත් කාර්ය මණ්ඩලයේත් ආරක්ෂාව තහවුරු කරමින්, නිසි ක්‍රියාපටිපාටීන්ට අනුව සුරක්ෂිත ලෙස යානය ගොඩබැස්වීමට UL 195 ගුවන් යානයේ කාර්ය මණ්ඩලය නොපමාව පියවර ගෙන තිබිණි.