August, 24, 2023
කොළඹ වරායට මුහුණුලා ඉදි කෙරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ විශාලතම මිශ්‍ර සංවර්ධන ව්‍යාපෘතිය වන Marina Square - Uptown Colombo ඉදි කිරීම් ව්‍යාපෘතියේ කැපී පෙනෙන සන්දිස්ථානයක් සටහන් කරමින් අදාළ ව්‍යාපෘතිය යටතේ සැලසුම් කර ඇති කුළුණු පහෙන්, හතරවන කුළුණ ලෙසින් Tower Cove හි ව්‍යුහාත්මක ඉදිකිරීම් කටයුතුවල වැඩ අවසන් කරන ලදි. ඒ සමගින්ම මෙය, මෙම ඉදි කිරීම් කටයුත්තෙහි සම්මත කාල රාමුව ඇතුළත ළඟා වූ 6 වැනි වැදගත් සන්දිස්ථානය බවට පත්වෙමින්, මහල් 147 කින් යුත් ව්‍යාපෘතියේ මහල් 125 ක ව්‍යුහාත්මක ඉදි කිරීම් කටයුතුවල අවසන් අදියරද සනිටුහන් කරයි.
ව්‍යාපෘතියෙහි ඉදි කිරීම් කටයුතුවල සුවිශේෂී අවස්ථාවක් ලෙසින් මෙම සන්දිස්ථානය උත්සවත්ශ්‍රියෙන් සැමරීමද සිදුවිය. ඒ, මෙම ඉදිකිරීම් ව්‍යාපෘතිය ක්‍රියාවට නංවන ඉදිකිරීම් සමාගම් දෙකද ඇතුළුව, ව්‍යාපෘති විශේෂඥයින්, නියාමන ආයතන මෙන්ම අනෙකුත් සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙනි. 2022 වසරේ ශ්‍රී ලංකාවේ පැවති ආර්ථික අභියෝග හමුවේ වසරක් තුළ ඇගයිය යුතු ප්‍රගතියක් අත්කර ගනිමින් ව්‍යාපෘතිය මෙලෙස සුවිශේෂී කඩඉමක් සනිටුහන් කිරීම කැපී පෙනෙන ජයග්‍රහණයක් ද වේ. මෙහි ඉදිකිරීම් පාර්ශ්වකරුවන් දෙපළ ලෙසින් ක්ෂේත්‍රයේ දැවැන්තම සමාගම් දෙකක් වන Access Engineering PLC (AEL) සහ China Harbour Engineering Company (CHEC) අත්වැල් බැඳ ගැනීමේ ශක්තිය සමග, Marina Square, අභියෝගාත්මක කාලවලදී පවා, මෙවැනි තිරසර ඉදිකිරීම් රටට දායාද කිරීම වෙනුවෙන් නිරතුරුවම කැපවන බව සනාථ කරන ලදි.
මෙම ව්‍යාපෘතියෙහි අධ්‍යක්ෂ සහ Marina Square හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික, කෝසල වික්‍රමසිංහ මහතා මේ පිළිබඳව අදහස් දක්වමින් පවසා සිටියේ, වසර පුරාම මුහුණ දුන් ආනයන සීමා කිරීම්, ඉදි කිරීම් පිරිවැය ඉහළ යාම් සේම, රටේ ඇති වූ දරුණුතම ආර්ථික අර්බුදය හමුවේ, ඉදිකිරීම් කටයුතු අඛණ්ඩව කරගෙන යාමට AEL හා CHEC සමාගම්වල ඒකාබද්ධ සම්පත්, සාමූහික ප්‍රයත්නයන් සහ ක්ෂේත්‍ර අත්දැකීම් බෙහෙවින් ඉවහල් වූ බවයි. එමෙන්ම, වටිනා ගනුදෙනුකරුවන්, ඉදි කිරීම් සමාගම් සහ කොන්ත්‍රාත් යන අංශ දෙකේම කාර්ය මණ්ඩලය, මූල්‍ය සේවා සැපයුම්කරුවන්, නියාමන ආයතන ආදිය තුළින්ද ලද සහයෝගය නොවන්නට, මෙම ඉලක්කය කරා ළඟා විය නොහැකි වනු ඇති බවද, ඔහු සිහිපත් කළේය. ‘ඉකුත් කාලවකවානුව පුරාම ලැබුණු එම සහයෝගය සහ කැපවීම හේතුකරගනිමින්ම, මේ වසර අවසන් වන විට, ව්‍යාපෘතියෙහි කුළුණු පහේම, ව්‍යුහාත්මක ඉදිකිරීම් කටයුතු අවසන් කිරීමට හැකි වේ යැයි අප විශ්වාස කරනවා.’ යනුවෙන් උත්සවය අමතමින් වික්‍රමසිංහ මහතා තවදුරටත් ප්‍රකාශ කර සිටියේය.
මීට අමතරව, Marina Square හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සහ CHEC (ශ්‍රී ලංකා) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ Jiang Houliang මහතාද අදහස් දක්වන ලදි. කොළඹ ව්‍යාපාරික අගනගරයට හා ඉදි කරෙමින් පවතින වරාය නගරයට සමීපව, සුඛෝපභෝගී නිවහන් සොයන පිරිස සඳහා දැරිය හැකි මිලට කදිම නිවහන් තිලිණ කෙරෙන, ව්‍යාපෘති සැලසුම් යෝජනාව සාර්ථකව නිම කිරීම සඳහා ඉදි කිරීම් සමාගම් දැක්වූ කැපවීමද ඔහු සිහිපත් කළේය.
අක්කර පහක පුළුල් භූමි භාගයක පිහිටා ඇති Marina Square යනු කොළඹ Port City යෙහි සිට මිනිත්තු කිහිපයක දුරින් මෙන්ම, Port Access Elevated Highway (වරාය ප්‍රවේශ ගුවන් අධිවේගී මාර්ගයේ) සිට මීටර් 400 ක් දුරින්, උපාය මාර්ගික වශයෙන් වැදගත් පරිශ්‍රයක ඉදිවන සුඛෝපභෝගී මහල් නිවාස සංකීර්ණයකි. කුළුණු 5 කින් යුතුව ඉදි කෙරෙන එහි මහල් 36 ක් පුරා පිහිටි නිවාස ඒකක 1,088 කි. ඒ ආසන්නයෙන් Port Access Elevated Highway මාර්ගය ද මේ වන විට කඩිනමින් ඉදි වෙමින් පවතී. එහි වැඩ නිම වීමෙන් පසුව, Marina Square පදිංචිකරුවන් හට සිය දොරකඩ සිට විනාඩි කිහිපයක් ඇතුළත අධිවේගී මාර්ග පද්ධතිය වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාවද සැලසේ.
නවීන නිවාස හිමියන්ගේ අවශ්‍යතාවයන්ට සරිලන පහසුකම් රාශියක් සමගින්, මන බඳින කොළඹ අහස් කුස, තෙරෙක් නොපෙනෙන ඉන්දියන් සාගරය සහ කොළඹ වරායේ මනස්කාන්ත දසුනින්ද හෙබි Marina Square මහල් නිවාස සංකීර්ණය අගනගරයේ සුඛෝපභෝගී ජීවන රටාවෙහි ප්‍රතිමූර්තිය බවට පත් වනු නොඅනුමානය.

Video Story