ලාෆ්ස් ගෑස් මෙහෙයුම් ඩුබායි සිට ව්‍යාප්ත කරයි

    March, 3, 2016

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන ලාෆ්ස් ගෑස් පීඑල්සී ආසියානු කලාපයේ බලශක්ති කර්මාන්තයට ඇතුල් වීම තවදුරටත් ව්‍යාප්ත කරලීමේ අරමුණින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ලාෆ්ස් ගෑස් පීඑල්සී පූර්ණ අනුබද්ධිත සමාගමක් ආරම්භ කර තිබේ. SLOGAL ENERGY DMCC ලෙසින් මෙම සමාගම නම් කර ඇත.

    මෙම සමාගම 2015 නොවැම්බර් 15 වන දින සංස්ථාපනය කරනු ලැබූ අතර මේ වන විට එහි මෙහෙයුම් කටයුතු ආරම්භ කර තිබෙන බව ලාෆ්ස් ගෑස් පීඑල්සී හි සභාපති ඩබ්.කේ.එච්. වෑගපිටිය මහතා අද දෙරණ Biz සමග පැවසීය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලාෆ්ස් සභාපතිවරයා මෙසේ පැවසීය.
    “ලංකාවේ දේශීය අනන්‍යතාවයක් ඇති ව බලශක්ති කර්මාන්තයේ බිහිවුණු සමාගම තමයි ලාෆ්ස්. ලංකාව තුළ ගෑස්, පෙට්‍රොලියම්, ලිහිසි තෙල්, විදුලිබල නිෂ්පාදනය ආදී වශයෙන් විවිධ බලශක්ති කාර්යයන් හි අප ක්‍රියාත්මක වෙනවා. ලාෆ්ස් සමාගම දැනට බංග්ලාදේශයේ දෙවන විශාලතම ගෑස් සමාගමයි. නුරේදීම අපි මියන්මාරයේ ගෑස් වෙළෙඳාමට ඇතුල්වෙනවා“, යැයි පැවසීය.

    මෙම තත්ත්වය සලකා බලා කලාපයේ තිබෙන බලශක්ති ව්‍යාපාරයට ඇතුලත් වීමේ අරමුණින් යුතුව එහ ප්‍රධාන කේන්ද්‍රස්ථානයක් වන ඩුබායි හි ලාෆ්ස් ගෑස් අනුබද්ධ සමාගමක් ආරම්භ කිරීමට පියවර ගත් බව ලැෆ්ස් ගෑස් පීඑල්සී සභාපති, ඩබ්.කේ.එච්. වෑගපිටිය මහාතා මෙහිදී ප්‍රකාශ කළේය.

    “මේ තුළින් ලංකාවට බලශක්ති සැපයුමට පමණක් සීමා නොවී නාවුක කටයුතු මෙහෙයවීම, බංග්ලාදේශය, මියන්මාරය, අප්‍රිකාව ආදී රටවලට ගෑස්, පෙට්‍රොලියම් වගේ ද්‍රව්‍ය බෙදාහැරීම , ඒවා පිළිබඳව වෙළෙඳාම් කිරීම සිදුවෙනවා“, යැයි වෑගපිටිය මහතා අවසාන වශයෙන් කියා සිටියේය.