කොමර්ෂල් බැංකුව 5 වැනි වසරටත්, ශ‍්‍රී ලංකාවේ වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට

    August, 28, 2023

    කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට පත්වීමේ ගෞරවය නැවතත් හිමිකර ගෙන ඇත. ශ‍්‍රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) සම්බන්ධීකරණය යටතේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) විසින් මෙම සුවිශේෂී තෝරා ගැනීම සිදුකර ඇත.

    ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක කාර්ය සාධන දර්ශක දැඩි ඇගයීමකින් අනතුරුව, ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික බැංකු ක්ෂේත‍්‍රයේ මිණුම් ලකුණක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව, මෙම සුවිශේෂී ලැයිස්තුවේ ශ්‍රේණිගත වූ පස්වන අවස්ථාව මෙයයි.

    මෙම සුවිශේෂී උපහාරය පිළිබඳව අදහස් දක්වමින් කොමර්ෂල් බැංකුවේ කළමණාකාර අධ්‍යක්‍ෂ සහ ප‍්‍රධාන විධායක නිලධාරී සනත් මනතුංග මහතා මෙසේ පැවසීය. ”තිරසාර කාර්ය සාධනය සංස්ථාපිත ආයතනයක් කෙරෙහි ප‍්‍රසාදය ඇති කිරීමේ මූලික සාධකයක් වන අතර, හොඳ ආයතනික පුරවැසිභාවය, පාරිසරික සහ සමාජයීය වගකීම මෙන්ම සදාචාරාත්මක අනුකූලතාවය සහ පාරිභෝගික ප‍්‍රතිචාරයද ඊට සමානව වැදගත් වන බව අපගේ විශ්වාසයයි. මෙම අංශ කෙරෙහි කොමර්ෂල් බැංකුව විශේෂ අවධානයක් යොමු කරනවා. එබැවින් වඩාත් ඇගයීමට ලක් වු සමාගම් සම්මානය තුළින් ලැබෙන සහතිකය  දිරියක් ලෙස අපි සලකනවා.”

    2023 වසරේ ශ‍්‍රී ලංකාවේ ශක්තිමත්ම බැංකු සන්නාමය මෙන්ම ගෞරවනීය බැංකුව ලෙසද ශ්‍රේණිගත කර ඇති කොමර්ෂල් බැංකුව, 2022 වසර අවසන් කළේ රුපියල් ටි‍්‍රලියන 2.5ක මුළු වත්කම්, රුපියල් බිලියන 280ක දළ ආදායමක්, රුපියල් ටි‍්‍රලියන 1.9ක තැන්පතු, රුපියල් ටි‍්‍රලියන 1.2ක ණය පොතක් සහ රුපියල් බිලියන 24ක ශුද්ධ ලාභයක් වාර්තා කරමිනි.

    2022 වසරේ බැංකුවේ කාර්යසාධනයේ විශේෂත්වයක් වූයේ එම වසරේදීද ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙස මුදල් අමාත්‍යාංශය විසින් තහවුරු කර තිබීමය. රාජ්‍ය බැංකු, පුද්ගලික බැංකු සහ විශේෂිත බැංකු මගින් එම වසරේදී ලබාදුන් සෑම ණය තුනකින්ම එකක් කොමර්ෂල් බැංකුව විසින් ලබා දෙන ලදි.

    ශ‍්‍රී ලංකාවේ පරිසරයට කාබන් මුදාහැරීම 100% තුලනය කළ ප‍්‍රථම බැංකුව සහ ලෝකයේ හොඳම බැංකු 1000 අතරට පත්වු පළමු දේශීය බැංකුව වන කොමර්ෂල් බැංකුව මේ වනවිට දිවයින පුරා බැංකු ශාඛා 271 ක් සහ ස්වයංක‍්‍රීය යන්ත‍්‍ර 957 ක් ක‍්‍රියාත්මක කරයි. ශී‍්‍ර ලංකාවේ සුළු සහ මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර වලට විශාලතම ණය සම්පාදනය කරන්නා මෙන්ම දේශීය බැංකු ක්ෂේත‍්‍රයේ ඩිජිටල් නව්‍යකරණය සඳහා ප‍්‍රමුඛයෙකු වන කොමර්ෂල් බැංකුව බංග්ලාදේශය තුළ ශාඛා 20 ක් ද මියන්මාරයේ නේ පයිටව් හි, ක්ෂුද්‍ර මූල්‍යන සමාගමක් මෙන්ම මාලදිවයින තුළ බහුතර කොටස් හිමිකාරීත්වයෙන් යුතු පළමු පෙළ බැංකුවකින් සමන්විත විදේශීය මෙහෙයුමක් පවත්වාගෙන යන ශ‍්‍රී ලංකාවේ එකම පුද්ගලික වාණිජ බැංකුව ද වේ.

    සේයාරු සටහන: 2023 වඩාත් ඇගයීමට ලක් වූ සමාගම් සම්මාන උළෙලේදී, කොමර්ෂල් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජිතයින් සම්මානය ලබා ගත් අවස්ථාව සේයාරුවෙන් දැක්වෙයි.