විදුලි බස් 200ක් ගෙන්වන්න ඇමති බන්දුලගෙන් යෝජනාවක්

    August, 29, 2023

    බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ.
    එහෙත්, එම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එකී බස් රථ මඟින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි වන අයුරින් යෝජිත ව්‍යාපෘතිය යටතේ ධාවනයේ යොදවනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200ක් පමණ දක්වා ඉහළ නැංවීම වඩාත් යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.
    ඒ අනුව, යෝජිත ව්‍යාපෘතිය යටතේ ප්‍රසම්පාදනය කරනු ලබන විද්‍යුත් බස් රථ සංඛ්‍යාව 200 දක්වා ඉහළ නැංවීම පිණිස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.