September, 11, 2023
රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සහ රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සම්බන්ධකිරීමේ ප්‍රගතිය පිළිබඳව ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී විමසා බැලීම සිදු විය.
මේ පිළිබඳ විමසා බැලීම සිදු වූයේ ජාතික ආර්ථිකය හා භෞතික සැලසුම් පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ සභාපතිත්වයෙන් පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීය.
දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක කරන රැමිස් (RAMIS) දත්ත පද්ධතිය හා සම්බන්ධවීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සහ ඉඩම් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට පවතින ගැටලු පිළිබඳ සාකච්ඡා කොට එම කටයුත්ත ඉක්මන් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට මෙම රැස්වීම පැවැත්වීම සිදු විය.
මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පැමිණි නිලධාරීන් අමතමින් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කළේ මෙරට විශාල වශයෙන් සුඛෝපබෝගී වාහන අලෙවි වීම සිදු වන බවත් මේ පිළිබඳ තොරතුරු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සතුව නොමැති බවත්ය. එසේම වාහන හිමිකාරීන්ගේ ජාතික හැදුනුම්පත් අංක දෙපාර්තමේන්තුව සතු විය යුතු බවත් හෙතෙම පෙන්වා දුන්නේය. මේ අනුව මෙම සියලු තොරතුරු රැමිස් පද්ධතිය හා සම්බන්ධකිරීම සිදු විය යුතු බවත් අලුත්ගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙහිදී පැමිණ සිටි නිලධාරීන් සඳහන් කළේ මාසයක් ඇතුළත රැමිස් (RAMIS) පද්ධතිය සමග මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සම්බන්ධ කිරීමේ කටයුතු අවසන් කළ හැකි බවයි. එසේම අලුතෙන් ලියාපදිංචි කරන වාහනවල හිමිකරුවන්ගේ ජාතික හැදුනුම්පත් අංකයද ලබා ගැනීමට මේ වන විට කටයුතු සිදු කරමින් පවතින බවද එම නිලධාරීහු සඳහන් කළහ.
තවද රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රැමිස් (RAMIS) පද්ධතිය හා සම්බන්ධකිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වූ අතර මෙරට විශාල වටිනාකම් සහිත ඉඩම් අලෙවි වීම සිදු වන බවත් මේ පිළිබඳ තොරතුරු රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව සතු නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු මහින්දානන්ද අලුත්ගමගේ මහතා පෙන්වා දුන්නේය. එසේම ඉඩම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් අංක ලබාගැනීම සම්බන්ධයෙන් ගෙන ඇති කටයුතු පිළිබඳවද මෙහිදී කාරක සභාව විමසා සිටීම සිදු විය. මේ අනුව නිලධාරීන් සඳහන් කළේ ඉඩම් හිමියන්ගේ ජාතික හැදුනුම්පත් අංකය ලබාගැනීම ඇතුළු තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක් පවතින බවයි.
මේ අනුව කමිටුව පෙන්වා දුන්නේ මෙම තොරතුරු ලබාගැනීම සම්බන්ධයෙන් අධිකරණය විසින් තහනම් නියෝගයක් ලබාදී නොමැති බැවින් අවශ්‍ය තොරතුරු ලබාගැනීම සිදු කළ හැකි බවයි. ඒ නිසා ඒ පිළිබඳ පරීක්ෂා කර ඉදිරි කටයුතු සිදු කරන ලෙස කමිටුව උපදෙස් ලබාදුන්නේය. එසේම රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව රැමිස් (RAMIS) පද්ධතිය හා සම්බන්ධකිරීම කඩිනම් කිරීම සම්බන්ධයෙන්ද කමිටුව විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදීම මෙහිදී සිදි විය.
තවද රාජ්‍ය වැවිලි කළමනාකරන ආයතනයේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව, හලාවත වැවිලි සමාගමේ 2020 වර්ෂයේ වාර්ෂික වාර්තාව සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ 2021 වර්ෂයේ වාර්ෂික වාර්තාව සලකා බලා අනුමත කිරීමද මෙහිදී සිදු විය.
මෙම ආංශික අධීක්ෂණ කාරක සභාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමලවීර දිසානායක, ඉරාන් වික්‍රමරත්න සහ හර්ෂණ රාජකරුණා යන මහත්වරු සහභාගී වූහ.
Video Story