September, 25, 2023
ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකර්මය සඳහා වන පාලන ආයතනය වන ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) යටතේ ක්‍රියාත්මක, ජාතික කාබනික පාලන ඒකකයේ (NOCU) නිල වෙබ් අඩවිය වන www.nocu.lk ජනගත කිරීම කොළඹ 02, නවම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩල ප්‍රධාන කාර්යාලයේදී පසුගිය දා (22 දා) සිදුවිය. මෙය ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික අංශය ප්‍රවර්ධනය සහ නියාමනය කිරීම පිණිස ගත් වැදගත් පියවරකි.
මෙම සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාව සහ මාලදිවයිනේ යුරෝපා සංගම් නියෝජිත පිරිසේ ප්‍රධානී ආචාර්ය යොහාන් හෙසේ මහතා, ජර්මානු සංගමයේ (GIZ) නියෝජිත් සහ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ්, වැඩබලන අධ්යක්ෂ ජනරාල් මාලනී බද්දේගමගේ, ඇතුළු මහත්ම මහත්මීහු සහභාගී වූහ.
දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනවල විශ්වසනීයත්වය ආරක්ෂා කිරීම, ශ්‍රී ලංකා කාබනික රෙගුලාසි ක්‍රියාත්මක කිරීම සහ කාබනික කෘෂිකාර්මික ක්‍රම ප්‍රවර්ධනය ඇතුළු ජාතික කාබනික පාලන ඒකකයට (NOCU) විවිධාකාර අරමුණු රැසක් වෙයි. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ශ්‍රී ලංකාවේ තිරසර කාබනික කෘෂිකාර්මික පරිසර පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා පාර්ශ්වකරුවන් සමඟ සන්නිවේදනය පහසු කිරීම සහ අත්‍යවශ්‍ය තොරතුරු සැපයීම සහ NOCU හි කාබනික කෘෂිකර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන් මාර්ගගතව ලියාපදිංචි කිරිම සඳහා නිල වෙබ් අඩවියක් පිහිටුවීම වැදගත් වෙයි.
මෙම වෙබ් අඩවිය යුරෝපා සංගමයේ සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුල්‍ය අනුග්‍රහය යටතේ GIZ ශ්‍රී ලංකා විසින් ජරමානු සමුහ රජයේ සුළු හා මාධ්‍ය පරිමාණ සංවර්ධන ව්‍යාපෘතිය යටතේ ක්‍රියාවට නංවන ලද්දකි.
nocu.lk වෙබ් අවකාශය විවෘත වීම ශ්‍රී ලංකාවේ කාබනික කෘෂිකාර්මික ගමනේ වැදගත් සන්ධිස්ථානයක් වන අතර, කාබනික පිළිවෙත්වල ඉහළම ප්රමිතීන් සහතික කිරීම සහ තිරසර කෘෂිකාර්මික පද්ධතියක් ස්ථාපිත කිරීම සඳහා උපකාරී වනු ඇත.
මෙම වෙබ් අඩවිය හරහා කාබනික කෘෂිකර්මාන්තයට සම්බන්ධ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වීම, වැදගත් තොරතුරු බෙදා හැරීමට සහ දේශීය හා ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ කාබනික කෘෂිකාර්මික නිෂ්පාදනවල විශ්වසනීයත්වය තහවුරු කිරීමට බලාපොරොත්තුවේ.

Video Story