තිරිඟු පිටි මිල නියාමනයට මිල සූත්‍රයක්

    October, 3, 2023

    ලංකාවේ ගබඩා වල දැනට පවතින තිරිඟු පිටි ප්රමාණයන් පිළිබඳවද ගණනය කර, තිරිඟු පිටි ගැටලුව සම්බන්දයෙන් මාස 2ක් තුල වාර්තාවක් ලබා දෙන ලෙස පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විගණකාධිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය. මිල සූත්රයක් තිරිඟු පිටි සඳහාද පවතීනම් එක් එක් පාර්ශ්ව වල අභිමතය පරිදි මිල ගණන් තීරණය කිරීමට අවස්ථාව නොලැබෙන බවද මන්ත්රීවරයා ප්රකාශ කළේය.
    මේ පිළිබඳ කරුණු සාකච්ජා වුයේ පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පසුගියදා පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීය.
    මේ වන විට ලංකාව පුරා වෙළඳසැල් වල විවිධ මිල ගණන් යටතේ තිරිඟු පිටි අළෙවි කිරීම සිදුවන බව කමිටු සාමාජික මන්ත්රීවරයන් පෙන්වා දුන්හ. කෙසේ වෙතත් මුදල් ආමාත්යාංශය ලබා දුන් මිල ගණන් අනුව තිරිඟු පිටි කිලෝවක් රුපියල් 198ක මුදලකට අළෙවි කළ හැකි බවද කමිටුව නිලධාරීන්ට පෙන්වා දෙන ලදී. තිරිඟු පිටි මිල සැකසීමේදී මිල ගණනය කිරීම් දෙකක් ක්රියාත්මක වන බවත් මෙම තත්ත්වය වෙනස් කලයුතු බව සභාපතිවරයා අවධාරණය කළේය.
    තිරිඟු පිටි සඳහා පැනවූ බදු ගාස්තු වැඩිවීම හේතුවෙන් මිල ඉහළ යාම සිදු වුවත්, එම වැඩි වූ බදු මුදල ඒ වනවිටත් මෙරට ගබඩා වල පැවති තිරිඟු පිටි සඳහාද එකතුකර මිල ඉහළ දමා ඇති බව සභාපතිවරයා නිලධාරීන් හමුවේ පැවසුවේය.
    පසුගිය සමයේ ගෑස් හා කිරිපිටි සඳහා මිල සූත්රයක් සැකසීම වෙනුවෙන් දැරූ වෙහෙස සිහිපත් කල සභාපතිවරයා තිරිඟු පිට මිල නියාමනයටද මිල සූත්රයක දැඩි අවශ්යතාවය පෙන්වා දුන්නේය. වඩාත් විනිවිධ භාවයකින් කටයුතු කිරීමට නම් මිල සූත්රයක් වහාම සකස් කළයුතු බවට කමිටුව අවධාරණය කරන ලදී.