රාජ්‍ය අමාත්‍ය දිලුම්ගේ චීන සංචාරය රටට අවශ්‍ය ආයෝජන ගෙන එයි

    October, 4, 2023

    ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පසුගියදා චීනයේ පැවැති ආයෝජන ප්‍රවර්ධන සමුළු කිහිපයකට සහභාගි විය. එහදී මෙරට ආයෝජන අවස්ථා පිළිබදව චීන ව්‍යාපාරිකයන් හා ආයෝජකයන් දීර්ඝ ලෙස දැනුවත් කළහ.

    රාජ්‍ය අමාත්‍යවරයා සීමාසහිත CZK Harui Economy and Trade Development (Beijing) Company Limited සමාගම සමග පැවැත්වූ සෘජු සාකච්චාවන්හි ප්‍රතිඵලයක් ලෙස සති කිහිපයක් ඇතුළත සමාගමේ උප සභාපතිනි සොෆියා ලි මහත්මිය ඇතුළු ඉහල පෙලේ නියෝජිතයින් පිරිසක් මෙරටට පැමිණියහ. ඔවුන් ඊයේ (03) පස්වරුවේදී රාජ්‍ය අමාත්‍යවරයා ඇතුළු නිලධාරීන් හමුවීම කොළඹ ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේදි සිදුවිය.

    මෙම හමුවේදී සමාගමේ උප සභාපතිනිය කොළඹ ෆෝට් සිටි ( කොළඹ මූල්‍ය මධ්‍යස්ථානයේ ) හි ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ හුවමාරුව මධ්‍යස්ථානයක් ආරම්භ කිරීම සඳහා යෝජනාවක් ඉදිරිපත් කළේය. ඒ සදහා ඇමරිකානු ඩොලර් මිලියන 50ක ආයෝජනයක් සිදු කිරීමට අපේක්ෂා කෙරේ. මෙම මධ්‍යස්ථානය තුල මැණික් හා ස්වර්ණාභරණ කෞතුකාගාරයක්,පර්යේෂණාගාරයක් හා ජාත්‍යන්තර වෙන්දේසි මධ්‍යස්ථානයක් ස්ථාපිත කෙරේ.

    චීන රජයේ හිමිකාරිත්වය සහිත මෙම සමාගම මේ වන විටත් බොහෝ රටවල විවිධ කේෂ්ත්‍රයන්හි ආයෝජන වල නිරතව ඇත. මෙරට රථ වාහන එකලස් කිරීම, බලශක්ති කේෂ්ත්‍රය ආදී අංශවලද ආයෝජනය පිළිබදව තම සමාගමේ අවධානය යොමු වී ඇතැයි CZK Harui Economy and Trade Development (Beijing) Company Limited උප සභාපතිනි සොෆියා ලි මහත්මිය පැවසුවාය. තාක්‍ෂණ හුවමාරුව සමඟින් ශ්‍රී ලංකාවට නව සන්නාම සූර්ය කුලී රථ පද්ධතියක් හඳුන්වා ඉලක්ක කර ගනිමින් සූර්ය බලශක්ති උත්පාදනය සහ ගබඩා කිරීමේ නව පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වැනි අංශවල තවදුරටත් ආයෝජන අවස්ථා අපේක්ෂා කරන බවද ලී මහත්මිය අවධාරණය කලාය.

    මෙහිදී අදහස් දැක්වූ ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා චීනය ඔවුන්ගේ නව නැගී එන ව්‍යාපාරික ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාව තෝරා ගැනිම සදහා බොහෝ සාධක ඇති අතර ඒ පිළිබදව අවදානය යොමු කරන ලෙසද ඉල්ලා සිටියේය. ජාත්‍යන්තර මැණික් හා ස්වර්ණාභරණ මධ්‍යස්ථානය මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයට පමණක් නොව ව්‍යාපාරික සංචාරකයින් වැඩි ප්‍රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට පිටිවහලක් වන අතර එමඟින් සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනයට ද ඍජු බලපෑමක් එල්ල වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

    මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් රේණුකා එම් වීරකෝන් මහත්මිය ඇතුළු නිළධාරීන් පිරිසක් සහභාගි වූහ.