බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙනවා – මුදල් ලේකම්

    October, 4, 2023

    බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයක් තිබෙන බවත්, බදු ප්‍රතිපත්තියේ ප්‍රතිසංස්කරණ සිදුකර බදු පරිපාලනය ශක්තිමත් කිරීමෙන් වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගත යුතු බවත් භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා පවසයි. අද (04) කොළඹ දී පැවති මාධ්‍ය ආයතන නියෝජිතයින් දැනුවත් කිරීමේ හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය. එම ඉසව්ව මුදල් අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කමිටුව විසින් සංවිධානය කර තිබුණි.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන මහතා,

    "ආදායම වැඩි කර ගැනීමේ දී ක්‍රියාමාර්ග රාශියක් අරන් තියෙනවා. ඔබතුමන්ලා දන්නා විදිහට බදු ප්‍රතිපත්ති වෙනස්කම් කළා. ඒවායේ ප්‍රතිඵල දැන් ලැබෙමින් පවතිනවා. හැබැයි ඒත් එක්කම අපි දකිනවා බදු පරිපාලනයේ විශාල දුර්වලතාවයන් තියනවා. ඔබතුමාලා දකින්න ඇති මෑතක දී නිකුත් වෙච්ච විවිධ වාර්තා තියනවා, ඒ පිළිබඳව අවධානය යොමු කරලා. ඉතින් අපේ බලාපොරොත්තුව තියෙන්නේ පුළුවන් තරම් බදු ප්‍රතිපත්තියේ යම්කිසි ප්‍රතිසංස්කරණ කරන ගමන්ම, දැනටත් අපි විශ්වාස කරනවා ඉතා හොඳ ප්‍රතිපත්තියක් දැන් රටතුළ තියනවා කියලා. නමුත් ඊළගට අපට අවශ්‍යතාවය තියෙන්නේ අපි කොහොමද බදු පරිපාලනය ශක්තිමත් කරලා වැඩි ප්‍රමාණයක් බදු දැලට අරගෙන බදු ගෙවීමේ හැකියාව නැත්නම් බදු ගෙවන ප්‍රමාණය වැඩි කරලා, මේ බදු ප්‍රමාණය වැඩි කරගන්නේ කොහොම ද කියලා. එහෙම ආදායම ලබා ගැනීම සිදු කළොත් සතුටු දායක මට්ටමකට පමණයි අපට මේ තත්ත්වයෙන් ගොඩ එන්න පුළුවන් වෙන්නේ. නැතිවුනොත් අපට මෙය කළමණාකරණය අපහසු වෙනවා."