මහ බැංකුව ඩොලර් පරිස්සම් කරගනී

    October, 16, 2023

    2023 සැප්තැම්බර් මාසය තුළ දී දේශීය විනිමය වෙළෙඳපොළ තුළ කිසිදු ආකාරයක ඩොලර් අලෙවියක් සිදුනොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව වගබලා ගෙන ඇත. මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක මේ බව සඳහන් වේ.

    2023 අගෝස්තු මාසයේ දී ඩොලර් මිලියන 467 ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළ තුළ අලෙවි කර තිබූ පසුබිමක මෙලෙස සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුව එසේ කටයුතු නොකර තිබීම විශේෂත්වයකි.

    මේ අතර සැප්තැම්බර් මාසය තුළ ඩොලර් මිලියන 83 ක ප්‍රමාණයක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට මහ බැංකුව කටයුතු කර තිබුණි.

    සමස්තයක් වශයෙන් 2023 මුල් මාස 09 තුළ දී ශ්‍රී ලංකා මහ බැංකුව ඩොලර් මිලියන 2,380.54 ක් මිල දී ගෙන ඇති අතර ඩොලර් මිලියන 825.67 ක් අලෙවි කර ඇත.