March, 10, 2016
තායි උප අගමැති, දෙරටේ අපනයනකරුවන්ගෙන් ඉල්ලයි
ඩොලර් මිලියන 500 ක් වන තායිලන්ත-ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික වෙළඳාම වර්ෂ 2020 වන විට තුන් ගුණයකින් වර්ධනය කිරීමට කැපවන ලෙස, සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින තායිලන්ත උප අගමැති ගරු සොමිකිඩ් ජාතස්රයිපිතක් (Hon. SOMKID JATUSRIPITAK) මහතා දෙරටේ ව්‍යාපාරික ප්‍රජාවෙන් ඉල්ලීමක් කළේය.
උප අගමැතිවරයා මෙම ඉල්ලීම කරනු ලැබුවේ, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍යාංශය, ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය හා එක්ව ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය විසින් සංවිධානය කරනු ලැබූ ව්‍යාපාරික සංසද හමුවක ප්‍රධාන අමුත්තා ලෙස සහභාගී වෙමිණි. මෙම හමුව අද (10) පෙරවරුවේ, කොළඹ 02, නවම් මාවතේ පිහිටි එම මණ්ඩලයේ ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම වසරේ සිට ඉදිරි පස් වසරක කාලයක් පුරා සංවර්ධන සහයෝගීතා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට දෙරටම තීන්දු කොට ඇති බැව් පැවසූ උප අගමැතිවරයා, මේ තුලින් වැඩි අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වන්නේ තායි-ශ්‍රි ලංකා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික අංශ අතර සහයෝගීතාවය වර්ධනය කිරීම බැව්ද පැවසීය.
තායිලන්තයට ශ්‍රී ලංකාවෙන් අපනයනය කරනු ලබන තේ කෝටාව වැඩි කිරීමට තායිලන්තය බලාපොරොත්තු වන බැව් පැවසූ හෙතෙම, ශ්‍රී ලංකාවේ ව්‍යවසායකයන්ගේ තාක්ෂණික නිපුණතාවය වර්ධනය සඳහා දායක වීමට හා සංචාරක සහයෝගීතාවය ගොඩනැංවීමට කටයුතු කරන බවද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උප අගමැතිවරයා, “භූගෝලිය හා සමාජ පරිසරය මෙන්ම බෞද්ධ ආගමික පරිසරයත් අප දෙරටේ දශක ගණනාවක් පුරා දිවෙන මිත්‍රත්වයට හේතුව ලෙස මා දකිනවා. එමෙන්ම ඉතා දිඟු කලක පටන් අප දෙරට ආර්ථික වශයෙන් සබඳතා පවත්වනවා. මෙම ආර්ථික සබඳතා තව තවත් ශක්තිමක් කිරීම සඳහා දෙරට අතර නිදහස් වෙළඳ ගිවිසුමකට එළැඹීමේ අවශ්‍යතාවය මා පෙන්වා දෙන්න කැමතියි. මෙවන් ගිවිසුමක් හරහා දෙරටටම ආර්ථික සෞභාග්‍යය උදාකර ගැනීමට හැකියාව ලැබෙතයි මා සිතනවා. එමෙන්ම මා මෙහිදී අවධාරණය කර සිටින්නේ තවදුරටත් පමා නොවී කඩිනමින් ගිවිසුම් ගත විය යුතු බවයි.
පසුගිය වසරේ ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ තායිලන්ත සංචාරය හේතුවෙන් අප දෙරට අතර සබඳතා තව තවත් තරවූ බැව්ද මෙහිදී සඳහන් කළ යුතුයි.“
ජාත්‍යන්තර වෙළඳ කටයුතු රාජ්‍ය අමාත්‍ය, සුජිව සේනසිංහ මහතා, “මේ වන විට අපේ රජය විවිධ රටවල් සමඟ නිදහස් වෙළඳ ගිවිසුම් වලට එළැඹීමට අවශ්‍ය කටයුතු කරමින් සිටිනවා. ඉන්දියාව, පකිස්ථානය සමඟ ඇති නිදහස් වෙළඳ ගිවිසුම් වගේම තායිලන්තය සමඟත් සබඳතා ඇතිකර ගැනීම අපේ බලාපොරොත්තුවයි. අප දෙරටේ ඇති බොහෝ සමානතා මේ සඳහා පහසුවක් වී තිබෙනවා. වත්මන් රජයේ ප්‍රජාතාන්ත්‍රික හා විනිවිද පෙනෙන ක්‍රියාකාරකම් නිසාවෙන් බොහෝ ආයෝජකයන්ට මෙරටට පැමිණීමට හැකි වාතාවරණයක් නිර්මාණය වී තිබෙනවා.“
මෙරට ආර්ථිකය දියුණු කළ යුත්තේ කෙසේද ? යන ප්‍රශ්ණයට යහපත් මාර්ගෝපදේශකත්වයක් හා දිශානතියක් කොරියාව, තායිලන්තය වැනි රටවලින් ලබාගැනීමට හැකියාවක් ඇතැයිද රාජ්‍ය අමාත්‍ය සේනසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය, දයා ගමගේ මහතා, “තායිලන්තයේ විශාල මෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් විශාල පිරිසක්ද මෙරටට පැමිණ සිටිනවා. ඔවුන් මෙරට ව්‍යාපාරිකයන් හා සමබන්ධ කොට ආයෝජන අවස්ථා පුළුල් කිරීමටද අප වැඩපිළිවෙලක් ඇතිකොට තිබෙනවා. මෙරට ව්‍යාපාරිකයන්ගෙන් යුතු වෙළඳ ධූත පිරිසක් ඉදිරියේදී තායිලන්තයට රැඟෙන යාමටත් මා බලාපොරොත්තු වෙනවා.
දිවයින පුරා පිහිටි ගම්මාන 2500 ක් යොදාගෙන පොකුරු ගම්මාන වැඩපිළිවෙලක් හා එයින් ගම් 500 බැගින් යොදාගෙන මහා පරිමාණ ආයෝජක කලාප ඇරඹීමත් රජයේ අපේක්ෂාවයි. රජයේ හිස් ඉඩම් හා පෞද්ගලික අංශයේ වගා නොකළ ඉඩම් යොදාගෙන කෘෂි නිෂ්පාදන ධාරිතාවය වර්ධනය කිරීමේ වැඩපිළිවෙල අපි දියත් කරනවා. අමුද්‍රව්‍ය ලෙස අපනයනය වෙනුවට අගය වැඩි කළ නිෂ්පාදන අපනයනය වැඩි කළ යුතුයි. ඒ සඳහා තාක්ෂණික සහයෝගීතාවය ලබාදීමට තායිලන්තය කැමැත්ත පළ කර තිබෙනවා. ඒ වගේම සංචාරක කර්මාන්තය ඉහළ නැංවීමට කටයුතු කරනවා. මෙම වසරේ අවසානය වන විට GSP+ බදු සහනය අපට හිමිවේවි. එසේ වුවහොත් අපනයන භාණ්ඩ විශාල ප්‍රමාණයකට ඉන් සහන ලැබෙනවා.“
තායිලන්ත වෙළඳ අමාත්‍ය, අපිරාදි ටැන්ට්රපොන් (Hon.Apiradi Tantraporn), තායිලන්ත කර්මාන්ත අමාත්‍ය, ඇචකා සිබුන්රුවැන්ග් (Hon. Atchaka Sibunruang), ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනී, ඉන්දිරා මල්වත්ත යන මහත්වරුන්ද, මහත්මීන්ද, තායිලන්ත හා ශ්‍රි ලංකාවේ අපනයනකරුවන්, ව්‍යාපාරිකයන් විශාල පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
Video Story