රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය යටතේ රෝගීන් ලක්ෂ අනූපහක් ලියාපදිංචි වෙයි

    October, 18, 2023

    රජයේ රෝහල්වල කාර්යක්ෂමතාවය ඉහළ නංවමින් රෝගීන්ට ප්‍රශස්ත සේවාවක් ලබා දීම වෙනුවෙන් හඳුන්වා දුන් රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතිය (Hospital Health Information Management System) මේ වන විට රෝහල් අසූවක පමණ සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

    මෙම පද්ධතිය ඔස්සේ රෝගීන් මිලියන නමය හමාරකට අධික පිරිසක්  ලියාපදිංචි වී සිටින අතර රෝගීන්ගේ ඉලෙක්ට්‍රොනික වෛද්‍ය වාර්තා මිලියන ‍විසිතුනක් පවත්වාගෙන යනු ලබන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA)  පවසයි.

    රෝගීන් ලියාපදිංචි කිරීම, පරීක්ෂා කිරීම, ඖෂධ ඇණවුම් කිරීම, රසායනාගාර පරීක්ෂණ, විකිරණ පරීක්ෂණ ආදී සේවාවන් රැසක් මෙම පද්ධතිය මඟින් බල ගන්වා ඇත.

    රෝහල වෙත රෝගියෙකු පැමිණීමෙන් පසු මෙම පද්ධතිය ඔස්සේ රෝගියා ලියාපදිංචි කෙරෙන අතර ඔහුට ම අනන්‍ය අංකයක් සහ කේතයක් (Barcode)  හිමි වේ. රෝග විස්තර, ලබා ගත් ප්‍රතිකාර, අදාළ සෞඛ්‍ය වාර්තා, නියම කරන ලද ඖෂධ ඇතුළු සියලු විස්තර ඊට අයත් වේ. නැවත වරක් එම පුද්ගලයා රෝහල වෙත පැමිණි විට පහසුවෙන් ප්‍රතිකාර ලබා දීමට ද මේ හරහා හැකි වේ.

    තව ද මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ විශේෂයෙන් ම රෝහල් පද්ධතිය පවත්වාගෙන යෑමේ මෙහෙයුම් පිරිවැය අවම කර ගැනීමට හැකි වී තිබෙන අතර බාහිර රෝගීන් කළමනාකරණය, නේවාසික රෝගීන් කළමනාකරණය, ඖෂධ තොග කළමනාකරණය, සායන කළමනාකරණය මෙන් ම රෝගීන්ගේ සෞඛ්‍ය දත්ත වාර්තා පවත්වාගෙන යෑම ද පහසු වී ඇත.

    වෛද්‍යවරුන් ඇතුළු  සෞඛ්‍ය සේවා වෘත්තිකයින් සවිබල ගැන්වීමට මෙන් ම රෝගී සත්කාරක සේවාවන් ගැන ඉතා නිවැරැදි තීන්දු තීරණ ගැනීමට ද  මෙමඟින් හැකි වී තිබෙන අතර කඩදාසි මත පදනම් ව පවත්වාගෙන ගිය සෞඛ්‍ය වාර්තා මෙම පද්ධතිය ක්‍රියාත්මක වීමත් සමඟ අවම වීම නිසා පරිසර හිතකාමී සෞඛ්‍ය සේවාවකට මඟ පෑදී තිබේ.

    රෝහලක සිට තවත් රෝහලකට රෝගියෙක් මාරු කර යැවීමේ දී එම රෝගියාට අදාළ සියලු විස්තර ද මෙම පද්ධතිය හරහා එම රෝහල වෙත ලබා දීමේ පහසුකම ද  ඉදිරියේ දී ලබා දීමට නියමිතව තිබේ.

    රජය මඟින් ජනතාවට ලබා දෙන සේවාවන් මෙසේ ඩිජිටල්කරණය කිරීමෙන් ඩිජිටල් ශ්‍රී ලංකාවක් කරා යන ගමන්මඟ තවත් අර්ථවත් කිරීමට හැකි වී තිබෙන බව ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය වැඩිදුරටත් සඳහන් කරයි.